සීනිගම දෙවොලේ වැඩ සිටින දෙවොල් දෙවියන්



දකුණු වෙරළබඩ තීරයේ තෙදපාන දෙවොල් දෙවියන් උදෙසා සිංහල බෞද්ධයන්ගේ සිතේ පවතින්නේ ඉමහත් ගෞරවයකි.භක්තියකි.යහපත් ලෙස දිවිගෙවනා පුද්ගලයන්ට සෙත, ශාන්තිය, යහපත උදාකරන බවටත් අයහපත් ලෙස දිවිගෙවනා පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන බවටත් බැතිමතුන් විසින් විශ්වාස කරනු ලබයි.කකුසඳ බුදුන් වෙත කඨින චීවරයක් පූජා කර කෝනාගම, කාශ්‍යප, ගෞතම යන බුදු වරුන් සතර දෙනාම උදෙසා විවිධ දාන මාන පිංකම් සිදු කිරීම නිසා දේවත්වයට පත්ව වැඳුම් පිදුම් ලබන බවද විශ්වාසයකි.දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත කිහිපයක්ම පවති.ද්‍රව්ඩ සම්භවයක් සහිත මෙතුමා දඹදිව කුදුප්පර නුවර රාමසිංහ නම් රජුගේ පුතෙකු බව සඳහන්ය.රජුගේ සත් සියයක් වූ බිසෝවරු අතර අග බිසෝවරු සත් දෙනෙකි.තෙදපති, ගුණපති, අමිතාපති, සිරිපති, මිහිපති, යසපති සහ ගිනිපති බිසෝවරු සත් දෙනායි.එම බිසෝවරු කුමාරවරු සත් දෙනෙකු බිහි කළ අතර ඉර රැස් සාමි, සඳ රැස් සාමි, තෙද රැස් සාමි, ගිනි රැස් සාමි, බුදු රැස් සාමි, මහා සාමි සහ කුඩා සාමි එම කුමාරවරු සත්දෙනායි.තරුණ වියට පත් මොවුන් රට වැසියාට හිංසා කිරීමට පටන් ගත්තෙන් රජු කෝපයට පත්ව මොවුන් රටින් පිටුවහල් කළේය.ඒ සඳහා නැව් සතක්ද සාදා දෙන ලදි.

ඔවුන් මහසයුර තරණය කරන අතරතුර නැව කුණාටුවකට හසුව මූදුබත් වූ අතර එය දුටු සක් දෙවිඳු විසින් මවා දෙන ලද ගල් නැවක නැගී මණිමේඛලා දේවියගේ ආශිර්වාදය ද ඇතිව ලංකාවට සේන්දු විය.මෙම පිරිස පිළිවෙලින් සමන් කුළට, කතරගමට, දෙවුන්දරට, මෝදරට සහ උණවටුනට ගොඩ බැසීමට උත්සහ කලද මේ තොටවල් රකින මහ දෙවියන් ගොඩ එන්න ඉඩ නොදුන් නිසා සීනිගමට ආ බව පැවසේ.නමුත් මේ පිරිස සීනිගමට පැමිණීමට විරුද්ධ වූ පත්තිනි දේවිය ඔවුන්ගේ පැමිණීම වැලැක්වීමට ගිනිමැල හතක් මැවීය.එම ගිනිදැල් වලින්ම සළුවක් සහ සුම්බරයක් මවාගෙන ගිනි වළලු ජයගෙන කරදියෙන් පහන් පත්තු කර පූජා කර වැලි සහල් කර සීනි කර ගිනි මැල පාගා ගෙන ලක්දිවට ගොඩ බැස්ස බව සඳහන් වෙයි.අද ගිනි පෑගීමෙන් සංකේතවත් වන්නේ එදා දෙවොල් කුමරු ගිනි වළලු ජයගත් සිද්ධිය බව ද පැවසේ.පසුව පත්තිනි දේවිය දෙවොල් කුමරුට සීනිගම විසීමට ඉඩ හැර නවගමුවට වැඩම කල බව සඳහන්ය.මෙසේ සීනිගමට පැමිණි දෙවොල් කුමරු කල් යත්ම වේරගොඩ ප්‍රදේශයේ මාසාච්චි පරපුරෙන් කාන්තාවක් විවහ කරගෙන ඇති අතර ඔවුන් දෙදෙනාට පුතෙකු සිට ඇත.දිනක් තම පියා නිවසට අවශ්‍ය දේවල් රැගෙන එන්නේ කෙසේදැයි විපරම් කර බැලීමේ දී දැක ගැනීමට සිදුව ඇති දෙයින් පුතු විශ්මයට පත්ව ඇත.එනම් දෙවොල් කුමරු මුහුදෙන් මුහුදු වැලි බෑගයක් ද, පොල් අත්තක පොල් පිති ඔළුවක් ද රැගෙන නිවසට එන විට යම් අනුහසකින් එම මුහුදු වැලි සහල් බවටත් පොල් පිති ඔළුව මාළු බවටත් පත්වීමයි.මේ ගැන දැනගත් තම පුතා මේ රහස එළි කරාවි යන සැකයෙන් පුතුට ගැසූ පා පහරින් හිස වෙන්ව ඇති බව සඳහන් වෙයි.එතැන් පටන් මිනිසුන් දෙවොල් කුමරුන්ට දේවත්වයෙන් පුද පූජා කොට ඇත.

සීනිගම විසූ මැතිඳෙකු විසින් ඔහුට ඇතිවූ අසනීපයක් සුවකර දීම නිසා සීනිගම දේවාලය සාදා දුන් බව පැවසේ.සීනිගමට අමතරව වේරගොඩ, උණවටුන, අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල දෙවොල් දේවාල දැකගත හැක.දෙවොල් දෙවියන්ගේ සැරයටිය සෝලු ලීයෙන් නිර්මිත වූවකි.ඔහු එය වේරගොඩ ප්‍රදේශයේ රෝපණය කළ බවත් වේරගොඩ දෙවොල් දේවාලයේ ඇති සුවිශාල සෝලු ගස එය බවටත් විශ්වාසයක් පවතී.දෙවොල් දෙවියන් මෙරට රාවණා පෙළපතින් පැවතෙන්නෝ ලෙසටද මතයක් පවතී.පෙර භවයකදී පත්තිනි දෙවොල්ගේ වැඩිමහල් සහෝදරියක් වී ඇති බවත් ඒ නිසා පත්තිනියගේ තොටට පිවිසීමේ වරම සක් දෙවිඳු දෙවොල් දෙවියන්ට දුන් බවත් ජනප්‍රවාදයේ කියැවේ.මේ දෙවියන් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ දැඩි දඬුවම් ලබාදෙන දෙවි කෙනෙකු හැටියටයි.එම නිසා බොහෝ පිරිසක් දෙවොල් දෙවියන් වෙත පැමිණ තම දුක කියා, කන්නලව් කර, වියලිමිරිස්, ගම්මිරිස්, අඹ, ඉඟුරු, සුදු ලූණු යන වර්ග පහ අඹරා පොල් ගැසීම සිදු කරනු ලබයි.එම කටයුත්ත සීනිගම දියඹ දේවාලයේදී සිදු කරයි.දෙවොල් දෙවිඳුන් නැමදීම

තා පත්තිනි සුරවධු - රවිතග්ගි මාලා-හෙත්වාත්‍ර වාසමුපගො - විජිතාරි වග්ගො                                                                                 පුඤ්ඤානු මෝදිය - දෙවොල් විජිතො සුරින්දො-පාලෙතු මං සතත මායු සිරිං දදන්තො

No comments:

Post a Comment

මහත අයට කෙට්ටු වෙන්න කස කසා ඇට පානක්

බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකා...