මහ පොළවෙන් මතු උන කොළ දරුවා
ක‍්‍රි.ව. 1135 - 1154 අතර ගතවූ අවුරුදු 19 ක පමණ කාලය මධ්‍යකාලීන එංගලන්ත ඉතිහාසයේ නරකම කාලවලින් එකකි. මෙකල එංගලන්තයේ රජතුමා වූයේ ස්ටීවන්ය. සිවිල් යුද්ධ, බලය පැහැර ගැනීම සඳහා වූ කුමන්ත‍්‍රණ යනාදිය බහුලව තිබූ මේ කාලයේදී එංගලන්ත වැසියා ඉමහත් භීතියෙන් සහ සන්ත‍්‍රාසයෙන් කල් ගෙවද්දී රජතුමා පවා බෙල්ල බේරාගෙන ජීවත් වූයේ බොහෝ අමාරුවෙනි.Woolpit යනු මේ කියන මධ්‍ය කාලීන එංගලන්තයේ තිබූ Suffolk නමැති කෝරළයේ තිබූ කුඩා ගම්මානයකි. මෙහි ජනයාගේ ප‍්‍රධාන ජීවිකාව වූයේ ගොවිතැන සහ දඩයමය. අතට හසුවන සහ මහ පොළොවේ පැළවෙන ආහාරයට ගත හැකි සියලූම දේ වගා කළ ඔවුහු දඩයම් සඳහා දුණු, ඊතල මෙන්ම බොරු වළවල්ද පාවිච්චි කළහ. මෙතෙක් දඩයක්කරුවන් පරිහරණය කළ තාවකාලික බොරු වළවල්වලින් වෙනස් වූ Woolpit ගමේ බොරු වළවල් ඇතුළත ගඩොල් තබා බඳින ලද බිත්ති සහිත විය. මධ්‍ය කාලීන එංගලන්තය බෙහෙවින් වනාන්තරගත රාජ්‍යයකි. පිටිසරබද මෙන්ම නගරබදවද පිහිටි හැම ගමකටම යාව වනාන්තරයක් තිබිණි. කැලයට රිංගන දඩයක්කාරයන් ගම දෙසට සතුන් එළවාගෙන ආ අතර, එහිදී උන් බොරු වළට වැටුණ විට මැරීම සිදුවිය.දිනක් උදෑසන Suffolk ගමේ මිනිස්සු තිරි`ගු ගොයම් කපමින් සිටියදී කුඹුරේ පැත්තක තිබූ බොරු වළකින් මිනිස් හඬක් ඇසෙන්නට විය. වළ තුළට එබී බලන ලද කල්හී දැකගන්නට ලැබුණේ කුඩා දරුවන් දෙදෙනෙකි. ඒ දෙදෙනාගේ මුහුණ හා අත්පා කොළ පැහැයෙන් යුක්ත විය. මෙයින් වැඩිමලා දැරියකි. ඇගේ වයස අවුරුදු 8 ක් පමණ විය. පිරිමි දරුවා අවුරුදු 6 ක් පමණ වයස් විය. දරුවන් අමුතු ආකාරයේ ඇඳුම් ඇඳ සිටි අතර ඒවා ඉතාම ආගන්තුක නූල් වර්ගයකින්, අමුතුම ආකාරයෙන් වියන ලද රෙදිවලින් මසා තිබිණ. දරුවන් වළෙන් ගොඩට ගෙන පරීක්‍ෂා කිරීමේදී පෙනී ගියේ ඔවුන්ගේ සකල ශරීරයම කොළ පැහැති බවය. ඔවුන් කතා කළ බස කාටවත් තේරුණේ නැත. මේ දරුවන් කොහි සිට පැමිණියේද යන්නත් ඔවුන්ගේ භාරකරුවන් කවුරුද යන්නත් රහසක්ම විය. ඒ අනුව ගමේ විසූ ධනවත්ම ඉඩම් හිමියා වූ ශ‍්‍රීමත් රිචඞ් ද කැල්සි විසින් කොළ පැහැති දරුවන් දෙදෙනා තම භාරයට ගන්නා ලදී.
ඔහුගේ නිවහනට ගෙන යන ලද දරුවන් දෙදෙනා මුලදී ආහාරයට ගත්තේ අමු බෝංචි වර්ගයක ඇට පමණි. මධ්‍ය කාලීන එංගලන්තයේ ජනයා අමු බෝංචි කරල් දෙකට පලා ඒවායේ ඇට වෙනම තම්බා කෑමට පුරුදුව සිටියහ. දරුවන් දෙදෙනා බෝංචි අනුභව කළේ අමුවෙනි. එසේම ඔවුහු කොළ පැහැති දේවලට මහත්සේ ප‍්‍රිය කළහ. ඔවුන්ට පාන් සහ මස් වර්ග ආහාරයට ගැනීම හුරු කිරීමට අවුරුදු දෙකක් පමණ ගත විය. ඉංග‍්‍රීසි බස උගෙනීමට වසර 5 ක් පමණ ගතවිය. මේ අතර ආතතියෙන් පෙළෙන්නට පටන් ගත් පිරිමි දරුවා රෝගීව වැහැරී ගොස් මළේය. ඇග්නස් ලෙස නම් තබන ලද දැරියගේ සමෙහි වූ කොළ පැහැය අතුරුදන් වීමට පටන් ගත් අතර ඇය ඉතා නිරෝගී රූපත් තරුණියක බවට පත්ව විවාහ වූවාය. ඇගේ සැමියා තානාපතිවරයෙකි. මේ දෙදෙනාගෙන් පැවැත එන අය අදටත් එංගලන්තයේ වසෛති. උදාහරණයක් ලෙස මහා බි‍්‍රතාන්‍යයේ Earl Ferrers නමැති වංශාධිපති නාමය දැනට දරන රොබට් ෂර්ලි අර්ල්වරයා ඇග්නස් පරම්පරාවට අයත් බව කියනු ලැබේ.ඉතා හොඳින් ඉංග‍්‍රීසි බස ප‍්‍රගුණ කිරීමෙන් පසු ඇග්නස් තමා පැමිණියේ කවර තැනකින්ද යන්න හෙළිදරව් කළාය. එම තොරතුරුවලට අනුව, මියගිය පිරිමි දරුවා ඇගේ සහෝදරයාය. ‘සාන්ත මාටින්’ නමැති දේශයක ඔවුහු ජීවත් වූහ. සූර්යයාගෙන් තොරවූ එම දේශය රාත‍්‍රි කාලයෙන්ද තොර තැනක් වූ අතර පැය 24 පුරාම මළ හිරු රැස් හා සමාන ආලෝකයකින් ආලෝකවත් විය. එසේම එරටට අහසක් ද නොවීය. එහි වැසියන්ගේ සම කොළ පැහැති විය. ඇය ජීවත් වූ භූමිය මැදින් ගංගාවක් ගලාගිය අතර, ගෙ`ගන් එහා පැත්තේ තවත් ‘රටක්’ විය. එය මහත් සේ ආලෝකවත් වූ රටකි. ඇගේ පියාට බැටළු පට්ටියක් විය. දිනක් සිය සහෝදරයාද සමග මේ බැටළු පට්ටිය පසුපස වනය තුළට ගිය ඇයට ගුහාවක් හමුවිය. ඔවුහු ගුහාව තුළටම ගමන් කළහ. ගුහාව කොනෙන් බලගතු සීනු හඬක් ඇසෙන්නට විය. එවිට මේ අක්කා සහ මල්ලී සීනු හඬ සොයමින් ඉදිරියටම ගියහ. එක් තැනකදී ගුහාව අවසන් වූ අතර එතැනින් ඉතා දීප්තිමත් ලෙස හිරු රැස් නිකුත් වන්නට විය. ඉන්පසු ඔවුන් දැක්කේ තමන් (එංගලන්තයේ Suffolk) ගමේ තිරි`ගු කුඹුරක සිටින බවකි.
කොළපාට දරුවන්ගේ කතාන්දරය අවුරුදු 900 කට වඩා පැරැණි නමුත් අදටත් මතභේදයට තුඩුදී ඇත. මෙය සමාන්තර විශ්වයක පිහිටි ලෝකයක් විය හැකි බවත් කොළ පැහැති දරුවන් ඒ විශ්වයේ සිට මේ විශ්වයට පැමිණෙන්නට ඇති බවත් පිරිසක් කියති. ඒ අතර තව පිරිසක් කියන්නේ සාන්ත මාටින් වැසියන්ගේ දේශය එංගලන්ත භූමිය වසා පැතිර තිබෙන, එහෙත් එරට ජනතාවට නොපෙනෙන ලෝකයක් බවයි. එනම් මෙය භූත ලෝකයක් හා සමාන ලෝකයකි. මනුෂ්‍යයන් අතරම, මනුෂ්‍ය ලෝකයේම භූතයන් ජීවත් වන බවටත්, මනුෂ්‍යයන්ට භූතයන්ද, භූතයන්ට මනුෂ්‍යයන්ද නොපෙනෙන බවට විශ්වාසයක් පවතී. ඒ අතර සමහර අවස්ථාවලදී මනුෂ්‍යයන්ට හා භූතයන්ට එකිනෙකා පෙනෙන බවත් මනුෂ්‍යයන් සහ භූතයන් එක්ව වසෛන අවස්ථා ඇති බවත් කියනු ලැබේ. ඒ අනුව සාන්ත මාටින්ගේ දේශය භූත ලෝකයේ හා සමාන ලෝකයක් විය හැකි බවට තර්ක කරනු ලැබේ.මේ අතර කොළපාට දරුවන් පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක මතවාදයක් ද ඇත. මෙම මතවාදයට අනුව Hypochromic Anemia හෙවත් Chlorosis නමැති රෝග තත්ත්වයට මුහුණ දෙන ළමයින්ගේ සම කොළ පැහැයකට හැරේ. මෙය රක්තහීනතාවයේ එක් උග‍්‍ර ස්වරූපයකි. මෙහිදී සිදුවන්නේ රතු පැහැති රුධිර සෛල කොළ පැහැයක් ගැනීමය. ඉතාම අඩු පෝෂණ පදාර්ථ ඇති ආහාර දීර්ඝ වශයෙන් ගැනීම මෙම රෝගයට මුලය. එහෙත්, නිසි පෝෂ්‍ය පදාර්ථ ශරීරගත වීමට පටන් ගත් විට මෙම තත්ත්වය ම`ගහැරී ශරීරයේ වර්ණය යථා තත්ත්වයකට පත්වේ. කොළ පැහැති සමක් ඇති ඇග්නස් සහ ඔහුගේ සහෝදරයා ජීවත් වූයේ යැයි කියන අද්භූත ලෝකය පිළිබඳ තොරතුරු පසෙක තබා ඔවුන් පිළිබඳ කතාවේ ඉතිරි කොටස සලකා බැලීමේදී පෙනී යන්නේ ඇග්නස්ගේ ශරීරයේ සම පසු කාලයේදී වෙනස් වී සාමාන්‍ය වර්ණයට හැරුණු බවය. ඇය විසින් පසු කාලයේදී පෝෂ්‍ය ජනක ආහාර ගැනීම එම තත්ත්වයට හේතු වුණා විය හැකිය.කොළ පාට දරුවන් දෙදෙනා විසූ දේශය පිළිබඳ තවත් වැදගත් මතයකට අනුව ඔවුන් පැමිණියේ පෘථිවි ගර්භයෙහි තිබෙන ලෝකයකිනි. තමන් විසූ ලෝකයට අහසක් නැති බව ඇග්නස් කියා ඇත. මෙවැනි මතයක් භෞතික විද්‍යාත්මකව ඔප්පු කිරීම ඉතා දුෂ්කරය. විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව නම් පොළොව යට ඇති ඔක්සිජන් නැති ලෝකයක මනුෂ්‍ය වාසස්ථාන පැවතීම කෙසේවත් සිදුවීමට ඉඩ නැත.(අනුර සොලමන්ස්)
Subscribe to:
Post Comments (Atom)
මහත අයට කෙට්ටු වෙන්න කස කසා ඇට පානක්
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකා...

-
ලොකු කුඩා කාට කාටත් නිතර නිතර හැදෙන දෙයක් තමයි මේ සෙම කියන්නේ. විවිද හේතු නිසා සේම ආමරුව හැදෙන්න පුළුවන් නමුත් ගොඩක් දෙනෙක් පොඩ්ඩක් සෙම ...
-
බිලිං කියන්නේ ලෝකයේ තියෙන පළතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්සේරු වන පළතුරු වර්ගයක්. බිලිං තරමක් කාමරංගා වලට සමාන කමක් දැක්වුවත් බිලිං වල ක...
-
හැමෝම පේර දන්නේ පලතුරක් විදියටම නමුත් ඊට වඩා පේර වල අඩංගු වෙනවා පේර කොන්ඩෙට ඉතාම ගුණදායක දෙයක් කිව්වොත් ඔබ පුදුම වෙයි ඔව් ඇත්තෙන්ම ඒක හ...
No comments:
Post a Comment