කඩොල් ඇතාගේ දළ යුගල මෙන්න



දුටුගැමුණු මහ රජුගේ රාජකීය හස්තියාවන කඩොල් ඇතාගේ දෙදළ කතරගම දේවාලයේ පුජනීය වස්තුවක් ලෙස තැන්පත් කර ඇත. මෙම දළ යුගල සෑම වසරක දීම ඇසළ මංගල්‍යයේ හයවැනි පෙරහැර දින දේවාල මාලිගාවෙන් පිට මණ්ඩපයට රැගෙන විත් ප‍්‍රදර්ශනය කර නැවත දිය කැපු පසු දේවාලයට රැගෙන යයි.මෙම ඇත් දළ යුගල දුටුගැමුණු රජතුමාගේ නියෝගයකට අනුව මහා දේවාලයේ තැන්පත් කළත් 1602 දි ඌව අල්ලා ගත් ඕලන්දක්කාරයින් ඌව වෙල්ලස්සේ වැව් අමුණු හා විහාරස්ථාන විනාශ කරන විටදී දේවාලයේ ඇති වස්තුව රැක ගැනිමට කපු මහත්වරු හා නිළමේවරු කි‍්‍රයා කළහ. ඇත් දළ යුගල ද සැඟවුහ.ඇත් දළ යුගල සැඟවු ස්ථානය කිසිවකුට සොයා ගත නොහැකි විය. පසුව 1818 ඌවේ කැරැල්ලෙන් පසුව 1890 ශත වර්ෂයේ දී පමණ පාරම්පරික කපු මහතකු දුටු හීනයක් නිසා ඇත් දළ යුගල සඟවා තිබු ගල සොයා ගැනිමට හැකි වු බව කියති.දුටුගැමුණු මහ රජතුමා රජවීමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරුවන් හා යුද්ධ කළේය. බුත්තල යුදගනාව යුදපිටියයි. සද්ධාතිස්ස කුමරුන් කඩොල් ඇතු පිට සිටියේය. දුටුගැමුණු වෙළඹක පිට සිටියේය. දුටුගැමුණු කුමරු වෙළඹ කඩොල් ඇතුගේ පිටට උඩින් කිහිපවරක්ම පන්නා ශිල්ප දැක්විය.කඩු පහරකින් තම සහෝදරයාගේ ගෙළ කපා දැමීමට හැකි වුවත් දුටුගැමුණු රජු එසේ නොකළේය. තම පිටට උඩින් අශ්ව වෙළඹක් පැන්න විමෙන් ඇත් පරපුරටම අවමානයට මුහුණ දුන් කඩොල් ඇතා තම පිට උඩ සිටින සද්ධාතිස්ස ඉතාම දුර්වලයෙක් යැයි සිතා පිට ගසා සද්ධාතිස්ස කුමරුන් බිමට දමා දුටුගැමුණු රජු ඉදිරියට ගොස් දණ ගැසීය. මෙම සිදුවීම බලා සිටි සියළුම සෙබළුන් ජය ඝෝෂා පවත්වා දුටුගැමුණු කුමරුට ජය පැතු අතර කුමරුන් මුලින් රජවු දිනය එදා බව පැරැන්නන් පවසති.

එදා සිට දුටුගැමුණු රජතුමා මිය පරලොව යන තෙක් විශේෂ කාර්‍යභාරයක් ඉටු කළ අප රටේ ඉතිහාස ගතවු හස්ති රාජයකු වන්නේ කඩොල් ඇතාය.දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ කළ යුද්ධයේ දී ඉතා ඥානවත්ත ලෙස සතුරන්ට එරෙහිව සටන් කිරිමට උරදුන් මෙම කඩොල් ඇතා දුටුගැමුණු රජතුමාගේ වයස හා සමාන බව පැවසේ.කතරගම මහා දේවාලයේ පාරම්පරික ලේකම් මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ කතරගම දේවාලයේ දෙවියන් වැඩම කළ පළමු ඇතා වන්නේ කඩොල් ඇතා බවයි . දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සාදන විට දී කඩොල් ඇතු ද රජු සමඟ සිටි අතර දැඩි ලෙස රෝගාතුරවු දුටුගැමුණු රජතුමා මියගිය පසුව එම දුක දැනුණු කඩොල් ඇතු ද රෝගාතුර වු බව කියයි.මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ දුටුගැමුණු රජතුමා මියගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට එද්දි දැඩි ලෙස රෝගාතුර වු බවයි. බුත්තල ගෝනගං ආර මායිමේ දියකිරිත්ත නම් ස්ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන ඒමට ඇත් ගොව්වන් කි‍්‍රයා කළ ද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය. පසුව දින කිපයකින් ඇතා මියගිය අතර එවකට සිටි බස්නායක නිළමේවරුන් හා දේවාලයේ රාජකාරිකරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත්කර බුත්තල හොරමැඩිල්ල නැමැති ස්ථානයේ ඇතාගේ සිරුර මිහිදන් කළ බව ඉතිහාසය කියයි..කතරගම දේවාලයට නැඟෙන හිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මෙම ඇත් දළ යුගල සගවා තිබු අතර ඇත් දළ යුගල සොයාගත් කපු මහත්වරු එය පෙරහැරකින් ආ බව කතරගම මහා දේවාලයට රැගෙන ආහයි කියති.දළ යුගල සැඟවු ගල තවමත් එලෙසම පවති. දළ යුගල සැගවිමට හෑරූ කුහරය ද දැනටද දක්නට ඇත.

සීනිගම දෙවොලේ වැඩ සිටින දෙවොල් දෙවියන්



දකුණු වෙරළබඩ තීරයේ තෙදපාන දෙවොල් දෙවියන් උදෙසා සිංහල බෞද්ධයන්ගේ සිතේ පවතින්නේ ඉමහත් ගෞරවයකි.භක්තියකි.යහපත් ලෙස දිවිගෙවනා පුද්ගලයන්ට සෙත, ශාන්තිය, යහපත උදාකරන බවටත් අයහපත් ලෙස දිවිගෙවනා පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන බවටත් බැතිමතුන් විසින් විශ්වාස කරනු ලබයි.කකුසඳ බුදුන් වෙත කඨින චීවරයක් පූජා කර කෝනාගම, කාශ්‍යප, ගෞතම යන බුදු වරුන් සතර දෙනාම උදෙසා විවිධ දාන මාන පිංකම් සිදු කිරීම නිසා දේවත්වයට පත්ව වැඳුම් පිදුම් ලබන බවද විශ්වාසයකි.දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත කිහිපයක්ම පවති.ද්‍රව්ඩ සම්භවයක් සහිත මෙතුමා දඹදිව කුදුප්පර නුවර රාමසිංහ නම් රජුගේ පුතෙකු බව සඳහන්ය.රජුගේ සත් සියයක් වූ බිසෝවරු අතර අග බිසෝවරු සත් දෙනෙකි.තෙදපති, ගුණපති, අමිතාපති, සිරිපති, මිහිපති, යසපති සහ ගිනිපති බිසෝවරු සත් දෙනායි.එම බිසෝවරු කුමාරවරු සත් දෙනෙකු බිහි කළ අතර ඉර රැස් සාමි, සඳ රැස් සාමි, තෙද රැස් සාමි, ගිනි රැස් සාමි, බුදු රැස් සාමි, මහා සාමි සහ කුඩා සාමි එම කුමාරවරු සත්දෙනායි.තරුණ වියට පත් මොවුන් රට වැසියාට හිංසා කිරීමට පටන් ගත්තෙන් රජු කෝපයට පත්ව මොවුන් රටින් පිටුවහල් කළේය.ඒ සඳහා නැව් සතක්ද සාදා දෙන ලදි.

ඔවුන් මහසයුර තරණය කරන අතරතුර නැව කුණාටුවකට හසුව මූදුබත් වූ අතර එය දුටු සක් දෙවිඳු විසින් මවා දෙන ලද ගල් නැවක නැගී මණිමේඛලා දේවියගේ ආශිර්වාදය ද ඇතිව ලංකාවට සේන්දු විය.මෙම පිරිස පිළිවෙලින් සමන් කුළට, කතරගමට, දෙවුන්දරට, මෝදරට සහ උණවටුනට ගොඩ බැසීමට උත්සහ කලද මේ තොටවල් රකින මහ දෙවියන් ගොඩ එන්න ඉඩ නොදුන් නිසා සීනිගමට ආ බව පැවසේ.නමුත් මේ පිරිස සීනිගමට පැමිණීමට විරුද්ධ වූ පත්තිනි දේවිය ඔවුන්ගේ පැමිණීම වැලැක්වීමට ගිනිමැල හතක් මැවීය.එම ගිනිදැල් වලින්ම සළුවක් සහ සුම්බරයක් මවාගෙන ගිනි වළලු ජයගෙන කරදියෙන් පහන් පත්තු කර පූජා කර වැලි සහල් කර සීනි කර ගිනි මැල පාගා ගෙන ලක්දිවට ගොඩ බැස්ස බව සඳහන් වෙයි.අද ගිනි පෑගීමෙන් සංකේතවත් වන්නේ එදා දෙවොල් කුමරු ගිනි වළලු ජයගත් සිද්ධිය බව ද පැවසේ.පසුව පත්තිනි දේවිය දෙවොල් කුමරුට සීනිගම විසීමට ඉඩ හැර නවගමුවට වැඩම කල බව සඳහන්ය.මෙසේ සීනිගමට පැමිණි දෙවොල් කුමරු කල් යත්ම වේරගොඩ ප්‍රදේශයේ මාසාච්චි පරපුරෙන් කාන්තාවක් විවහ කරගෙන ඇති අතර ඔවුන් දෙදෙනාට පුතෙකු සිට ඇත.දිනක් තම පියා නිවසට අවශ්‍ය දේවල් රැගෙන එන්නේ කෙසේදැයි විපරම් කර බැලීමේ දී දැක ගැනීමට සිදුව ඇති දෙයින් පුතු විශ්මයට පත්ව ඇත.එනම් දෙවොල් කුමරු මුහුදෙන් මුහුදු වැලි බෑගයක් ද, පොල් අත්තක පොල් පිති ඔළුවක් ද රැගෙන නිවසට එන විට යම් අනුහසකින් එම මුහුදු වැලි සහල් බවටත් පොල් පිති ඔළුව මාළු බවටත් පත්වීමයි.මේ ගැන දැනගත් තම පුතා මේ රහස එළි කරාවි යන සැකයෙන් පුතුට ගැසූ පා පහරින් හිස වෙන්ව ඇති බව සඳහන් වෙයි.එතැන් පටන් මිනිසුන් දෙවොල් කුමරුන්ට දේවත්වයෙන් පුද පූජා කොට ඇත.

සීනිගම විසූ මැතිඳෙකු විසින් ඔහුට ඇතිවූ අසනීපයක් සුවකර දීම නිසා සීනිගම දේවාලය සාදා දුන් බව පැවසේ.සීනිගමට අමතරව වේරගොඩ, උණවටුන, අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල දෙවොල් දේවාල දැකගත හැක.දෙවොල් දෙවියන්ගේ සැරයටිය සෝලු ලීයෙන් නිර්මිත වූවකි.ඔහු එය වේරගොඩ ප්‍රදේශයේ රෝපණය කළ බවත් වේරගොඩ දෙවොල් දේවාලයේ ඇති සුවිශාල සෝලු ගස එය බවටත් විශ්වාසයක් පවතී.දෙවොල් දෙවියන් මෙරට රාවණා පෙළපතින් පැවතෙන්නෝ ලෙසටද මතයක් පවතී.පෙර භවයකදී පත්තිනි දෙවොල්ගේ වැඩිමහල් සහෝදරියක් වී ඇති බවත් ඒ නිසා පත්තිනියගේ තොටට පිවිසීමේ වරම සක් දෙවිඳු දෙවොල් දෙවියන්ට දුන් බවත් ජනප්‍රවාදයේ කියැවේ.මේ දෙවියන් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ දැඩි දඬුවම් ලබාදෙන දෙවි කෙනෙකු හැටියටයි.එම නිසා බොහෝ පිරිසක් දෙවොල් දෙවියන් වෙත පැමිණ තම දුක කියා, කන්නලව් කර, වියලිමිරිස්, ගම්මිරිස්, අඹ, ඉඟුරු, සුදු ලූණු යන වර්ග පහ අඹරා පොල් ගැසීම සිදු කරනු ලබයි.එම කටයුත්ත සීනිගම දියඹ දේවාලයේදී සිදු කරයි.දෙවොල් දෙවිඳුන් නැමදීම

තා පත්තිනි සුරවධු - රවිතග්ගි මාලා-හෙත්වාත්‍ර වාසමුපගො - විජිතාරි වග්ගො                                                                                 පුඤ්ඤානු මෝදිය - දෙවොල් විජිතො සුරින්දො-පාලෙතු මං සතත මායු සිරිං දදන්තො

මහා රෑට බොරැල්ල කනත්ට එන හොල්මන්



හාත්පස වැසීගිය වැහි බීරම් අඳුරත් එක්ක ඒ හැන්දෑවෙ බොරැල්ල කනත්තේ තිබුණේ මහා පාළු මූසල බවක්. සිකුරාදාවක් නිසා වැඩිය මිනි ගෙනෙන්නෙත් නැති නිසා මිනිස් පුලුටක්වත් පේන තෙක්මානයක හිටියෙ නැහැ. නාරාහේන්පිට පාරෙන් කනත්තට ඇතුළු වුණ මාව මුණගැහෙන්න මගේ මිත්‍රයා බලාගෙන හිටියා.ඔහු කලින් කියලා තිබුණ විදියට මම හමුවෙන්න යන පුද්ගලයගේ කනත්තේ සේවා කාලය අවුරුදු පනස් එකක්. කොළඹ නගර සභාව යටතේ ඔහු කනත්තේ හරියටම අවුරුදු හතළිහක් රාජකාරි කළා. අවුරුදු හැටෙන් විශ්‍රාම ගත්තයින් පස්සෙ බොරැල්ල කනත්තේම රෝමානු කතෝලික කොටස කාලයක් ගතකළා. මම හමුවෙන කාලේ ඔහු වැඩ කළේ බොරැල්ල කනත්තේ ඇංග්ලිකන් කොටසේ.අවුරුදු හැත්තෑ එකක් වන ඔහුගේ ජීවිත කාලයේ ඔහු අවුරුදු පනස් එකක්ම ගත කරල තියෙන්නෙ සොහොන් කොත් අතරේ.කවුරුත් ඔහුව දන්නෙ කළු අයියා කියලා.කළු අයියාව මුණ ගැහෙන්න යන අතරේ මට බොරැල්ල කනත්තෙ අතීත කතාව සිහිපත් වුණා.බොරැල්ල කනත්තෙ පළමුවෙන්ම භූමිදාන කර ඇත්තේ අවුරුදු පනස් පහක වැන්දඹු කාන්තාවක්. ඒ 1866 ඔක්තෝබර් විසි අටවෙනි දා.අටවැනි සියවසේ මැද භාගයේ කොළඹ ආණ්ඩු කරමින් සිටි ඉංග්‍රීසි පාලකයන් සුසාන භූමියක් සඳහා කොළඹින් ප්‍රදේශයක් සෙව්වා. ඔවුන් තෝරාගත්තේ බොරැල්ලේ මෙම බිම්කඩ.මෙහි බිම් ප්‍රමාණය අක්කර හතළිස් අටක් පමණ වෙනවා. සොහොන් කොත් හෙවත් ස්මාරක හැට දාහකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න සොහොන් ගෙවල් කීපයකුත් මෙහි තියෙනවා. පිටස්තර පුද්ගලයකුට ඇතුළට යා හැකි ලෙස මෙම සො​හොන් ගෙවල් තනා ඇත. මෙම සොහොන් ගෙවල් තුළ අභ්‍යන්තරයේ ඇති මේසයක් මත මළවුන්ගේ භෂ්මාවශේෂ ඇතුළත් බඳුන් තැන්පත් කරන්න පුළුවනි.දෙවැනි ලෝක මහා යුද්ධ කාලයේ පිටකොටුවේ තිබුණ “මේබල් ස්ටෝර්ස්” ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරයේ හිමිකරුවා තමන් ජීවත්ව සිටියේදීම මෙවැනි ​සොහොන් ගෙයක් හදලා තියෙනවා. සෑම සති අන්තයකම තම මිතුරන් සමග සොහොන් ගෙයට එන ඔහු එතුළට වී කමින් බොමින් සතුටින් ගතකළා. නමුත් ජීවිතයේ අවසානයේ ඔහුගේ ව්‍යාපාර බංකොළොත් වී ඔහු තැනින් තැන ඇවිදිමින් මියගියා. ඔහුට අර සොහොන් ගෙයි තම භෂ්මාවශේෂ තියන්න අවස්ථාව ලැබුණේ නැහැ.බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි කියල ප්‍රධාන වශයෙන් කොටස් තුනක් බොරැල්ල කනත්තේ තියෙනවා. ඒවා පාලනය වෙන්නේ කොළඹ මහ නගර සභාවෙන්. රෝමානු කතෝලික පිරිස වෙත වෙන්කර ඇති කොටස පාලනය වෙන්නෙ රෝමානු කතෝලික සභාවෙන්. ඇංග්ලිකන්වරුන් වෙනුවෙන් වෙන්කර ඇති කොටස පාලනය වෙන්නෙ ඇංග්ලිකන් සභාවෙන්.1928 ඉඳලා ජපන් ජාතිකයින් වෙනුවෙන් බොරැල්ල කනත්තෙ කොටසක් වෙන්වෙලා තියෙනවා. එහි නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන්. එම කොටස මිනීවළවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.

මෙයට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමිය කියලා කොටසකුත් තියෙනවා. 1935-1942 දෙවැනි ලෝක යුද සමයේදී ශ්‍රී ලංකාවේ අවසන් කටයුතු සිදුකළ එංගලන්තය, අප්‍රිකාව නවසීලන්තය, ඉන්දියාව වගේ රටවල යුද හමුදා නිලධාරීන්ගේ ස්මාරක ද මෙහි තියෙනවා.කොළඹ බොරැල්ල කනත්ත ආසන්නයේ සිට මධ්‍යම රාත්‍රියේ කුලී රථවලට අතපාන සුදු ඇඳුමෙන් සැරසුණ අද්භූත කාන්තාවක පිළිබඳව ඉස්සර කතාවක් තිබුණා.ඒ හැර බොරැල්ල කනත්තෙ හොල්මන් ගැන විවිධ කතා මිනිස්සු අතර තියෙනවා. මට ඕනෑ වුණේ කළු අයියගෙන් මේ ගැන විස්තර දැනගන්න.ඒ හැන්දෑවේ මායි මගේ මිත්‍රයයි යද්දි කළු අයිය ගල් පල්ලිය, පල්ලැහැ සොහොන් කොතක් උඩ ඉඳගෙන හිටියා.මගේ මිත්‍රයා මාව අඳුන්නලා දුන්නා.“කළු අයියා ​​බොරැල්ල කනත්තේ ඉන්න හොල්මන් ගැන කතා කරන්නයි මම ආවෙ” කළු අයියා ඉදිරිපිට සොහොන් කොතක් උඩ වාඩිවුණා. මම කිව්වා..“මොන හොල්මන් ද මහත්තයා” කළු අයියා කතා කළේ ඩෝන්ට් කෙයාර් ගණනට.“කළු අයියනේ දැනට බොරැල්ල කනත්තේ ඉන්න පරණම සේවකයා. එතකොට කතන්දර ගොඩක් දන්නව ඇති නේ” මම කිව්වා.කළු අයියා ටිකින් ටික තමන්ගෙ අත්දැකීම් හෙළිකරන්න පටන් ගත්තා.“මහත්තයෝ, මේක තෝමස් පෙරේරා ගැන කියන කතාන්දරයක්.”“කමක් නැහැ කියන්නකො.”“එදත් සිකුරාදා දවසක්. සිකුරාදාට කනත්ත හරි පාළුයි. මහ මූසල පාටක් තියෙන්නේ. හවස් වරුවේ කනත්තේ ගේට්ටුව වහලා තිබුණේ. තෝමස් අයියයි. එයාගෙ සගයයි කනත්ත අතුගාලා කුණුවලට ගිනි තියලා රෝමානු කතෝලික කොටසට වෙලා ඉඳගෙන හිටියා.”“ගිනි ගොඩ ළඟද?”“නැහැ ගිනි ගොඩ​ට ටිකක් එහායින්”“ඉතින්?”“මේ දෙන්න මෙතැන ඉද්දි දැක්කලු මෝචරිය ඉස්සරහ ටයි කෝට් ඇඳල තොප්පියක් දාගත්ත මහත්තයෙක් හිටගෙන ඉන්නවා.”“ඉතින්?”“දෙන්න හිතුවලු ගේට්ටුව වහන්න ඉස්සර කනත්තට ඇතුළු වුණ කෙනෙක්. ගේට්ටුව වහල හින්ද යන්න බැරිව බලාගෙන ඉන්නව කියලා. තෝමස් අයිය එක්ක හිටිය යාළුව, කිව්වලු මම මහත්තයාට ගේට්ටුව ඇරල දීලා සම්තිං පාරක් කඩාගෙන එන්නම් කියලා.

“දෙන්නාමද මෝචරිය ළඟට ගියේ?”“නැහැ යාළුවා විතරයි.”“ඊට පස්සේ?”“යාළුවා ​මෝචරිය ළඟට ගියාම මහත්තයා එතැන නැහැල්ලු.”“ඉතින්?”“යාළුවා මෝචරිය ළඟට ගිහිල්ල හැරිලා බලද්දී දැක්කලු මහත්තයා එයාගෙ ඉස්සරහින් යනවා. එයා මහත්තයාගේ පිටි පස්සෙන් යද්දි මහත්තයා එක පාරම අතුරුදන් වෙලා. පස්සෙ මිනිහ තෝමස් අයියට කතාව කියල අර ගිනිගොඩ ළඟට ගියාලු.”“ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නේ?”“තෝමස් අයියා ඉස්සරින්ම දැක්කෙ යාළුවා බීඩිය පත්තුකර ගන්න ගිනි ගොඩට පාත්වෙනවා වගේ. ඒ එක්කම කවුරු හරි පිටිපස්සෙන් තල්ලු කළා වගේ. දඩෝස් ගාලා ගිනි ගොඩට වැටුණා.”“පපුවෙ අමාරුවක් වගේ හැදිල වැටුණද?”“ඒක කොහොමද දන්නේ නැහැ. මිනිහගෙ පිට පුරාවට පත ඇඟිලි පහක ලකුණු තිබුණා?”“ජීවත් වුණාද?”“ඉස්පිරිතාලෙට ගෙනිච්චා වැඩක් වුණේ නැහැ. සිරුර ගිනි ගැනීම නිසා සිද්ධවුණ මරණයක් කියලයි තීරණය කළේ.”“ඊට පස්සෙත් ඔය මහත්තයාගේ අවතාරේ ​බොරැල්ල කනත්තේ හොල්මන් කළේ නැතිද?“මොකද නැත්තෙ. ආයෙමත් ඔය මෝචරිය ඉස්සරහම මේකත් වුණේ 1965 විතර කාලේ. සිරිල් කියලා අපේම මිනිහෙක් තමයි දැකල තියෙන්නෙ.”“කියන්නකො”“මිනිහ බොරැල්ලෙ ෂෝ එකක් බලල එද්දි දැක්කලු මහත්තයෙක් මෝචරිය ඉස්සරහ ඉන්නව”“මහ රෑ ද?”“නැහැ දෙකයි තිහේ ෂෝ එක බලල එද්දි හවස හයට විතර ඇතිලු”“ඉතින් මිනිහ හිතුවා වළක් බලන්න ආපු මහත්තයෙක් කියලා. මිනිහ ඉක්මනට මේ පැත්තෙන් ආවා. ගණනක් කඩා ගන්න හිතාගෙන”“ඊළඟට මිනිහා දැකලා තියෙන්නෙ මෝචරිය ඇතුළට මහත්තයා යනවා වගේ. ඒත් ඒ අහලකවත් මහත්තයා නැහැ. මිනිහ දතකට පූට්ටුවෙලා මෝචරිය පඩිය උඩ මුනින්තලා වැටුණා. වැටිල්ලට මිනිහගෙ ඉස්සරහ දත් පේළියම කැඩිලා තිබුණා. සිරිල්ගෙ පිටෙත්, ගිනිගොඩේ වැටුණ මිනිහගේ වගේ කළු පත ඇඟිලි පහක පාරක් තිබුණා. ඉස්පිරිතාලෙට ගිය සිරිල් ගෙදර ආවේ දවස් තුනකට පස්සෙ.”“වෙන මොනවද ඔය වගේ දේවල් වෙලා තියෙන්නේ?”“ඔය ආදාහනාගාරය ළඟත් මහා අපූරු වැඩ සිද්ධවෙනවා. දවසක් අපේ ගුණසේකර කියලා කෙනෙක් ආදාහනාගාරය ළඟ නිදාගෙන ඉඳලා තියෙනවා.”“මහ රෑකද?”“නැහැ. හවස හයයි තිහට විතර ඇති. ගුණසේකර නිකමට ආදාහනාගාරය ළඟ ඇලවෙලා ඉඳලා තියෙනවා. එක පාරම කොහොන්ද මන්ද ගල් අහුරක් වැටිලා තියෙනවා.

ගුණසේකර හිතුව කවුරු හරි බයකරන්න ගල් අහුරක් විසිකරන්න ඇති කියලා. මිනිහා හොඳට වට පිට බැලුවා. කවුරුත් නැහැ. ආයෙත් ඇලවුණා. මෙන්න ආයෙත් ගල් අහුරු වැටෙන්න ගත්තා. මිනිහා නැගිටලා”අප ළඟට ඇවිල්ලා කතාව කිව්වා.“ඔය වගේ අද්භූත දේවල් වෙන්නේ හවසට රෑට විතරද?”“දවල් දොළහට. හවස හය හමාරට කිසිම කෙනෙකුට ඔය ආදාහනාගාරය ළඟ නිදාගන්න බැහැ.” “තවත් ඔය වගේ දේවල් වෙලා තියෙනවාද?”“ආදාහනාගාරය ළඟ පන්සල ළඟ ගිරිගරුඬ මේසයක් තියෙනවා.”“මොකටද ඒක තියෙන්නේ?”“ආදාහනය කරන්න එන මිනී ඔය කිරි ගරුඬ මේසය උඩ තියලා තමයි පාංශු කූලය දෙන්නේ.”දවසක් පුංචි බොරැල්ලේ බර්නාඩ් කියලා කෙනෙක් ඔය මාබල් ටේබල් එක උඩ ඇලවෙලා සිටියා.”“කීයට විතරද?”“දවල් දොළහට විතර. අපි හතර පස් දෙනෙක් එයට එහාහින් කතා කරකර හිටියා. මෙන්න එකපාරටම බර්නාඩ් ඇස් උඩ තියාගෙන නැගිට්ටා. කවුදෝ බෙල්ල මිරිකන්න හැදුවා කියලා.”“ගුරුකම් අතේ කටයුතුත් බොරැල්ල කනත්ත ඇතුළෙ වෙනවද”“මෙන්න මෙහෙම වෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ දරුවකුට පවුලේ අයකුට අපලයි කියල කට්ටඬි මහත්තයකු කියනවා. කට්ටඬියා එතකොට තිබෙනවා ඕකට මම වැඩක් කරලා දෙන්නම්. මම බිත්තරයක් ජීවන් කරලා දෙන්නම්. රෑ දොළහට එහෙම නැතිනම් දවල් දොළහට එහෙම නැතිනම් හවස හයට කනත්ත ඇතුළේ ගහලා බිඳින්න කියලා.”“ඊට පස්සේ?”“ඊට පස්සේ කට්ටඬිය බිත්තරයක සායම් කරලා රූප ඇඳලා කීයක් හරි ලොකු ගණනක් කඩාගෙන ගෙදර අයට දෙනවා. ගෙදර කෙනෙක් අර කිව්ව වෙලාවට බිත්තරය අරගෙන කනත්තට එනවා.”“කළු අයියලට අහුවෙනවා ඇති”“සමහර අය බිත්තරය අතේ තියාගෙන ඉද්දී අපි දැක්කොත් අහනවා. එතකොට ගෙදර අය කියනවා ගුරුකම් අතේ වැඩකට බිත්තරය ගෙනාවා කියලා”“ඔය ගොල්ලෝ ඉඩ දෙනවද”“ඇත්ත කියන්න එපායැ මහත්තයා. බොරුවට සුදනා වෙලා වැඩක් නැහැනේ. අපි එහෙම අහපුවම අපිට රුපියල් තුන් හාර සියයක් අත මිට මොළවනවා. අපි අයින්වෙලා යනවා.”“වැඬේ වැරදි නැද්ද?”“ඕනෑ නම් ඔහොම එන අයට නිකම් යන ගමන් කුලුනක ගහලා බිත්තර බින්දෑකිනේ. පාරේ යන ගමන් කනත්තෙන් පිට ඉඳලත් සොහොන් කොතක ගැහැව්වැකිනේ. එහෙව් එකේ අපි සුළු සංතෝෂමක් ගත්තට වැරදිද?උදේ හතේ ඉඳන් හත වෙනකම් ඕනෑම කෙනෙකුට කනත්තට එන්න පුළුවන්. මරණයකට ආවාය කිව්වැකි තමන්ගේ නෑයෙකුගේ සොහොන් කොතක් බලන්න ආවාය කිව්වැකි.”“එතකොට වෙන මොනවද කනත්තේ වෙන්නේ”“කනත්තට ජෝඩු එනවා. කාරෙකේ එන්නේ. අහපුවම කියන්නේ අම්මගෙ එහෙම නැතිනම් තාත්තාගෙ වළ බලන්නය කියලා. තවත් ජෝඩු පයින් එනවා. ඇවිල්ලා සංතෝෂවෙලා යනවා. ඒවා අපිට වළක්වන්න අමාරුයි මහත්තයා.”(පීටර් කැනියුට් පෙරේරා)

මහ පොළවෙන් මතු උන කොළ දරුවා


ක‍්‍රි.ව. 1135 - 1154 අතර ගතවූ අවුරුදු 19 ක පමණ කාලය මධ්‍යකාලීන එංගලන්ත ඉතිහාසයේ නරකම කාලවලින් එකකි. මෙකල එංගලන්තයේ රජතුමා වූයේ ස්ටීවන්ය. සිවිල් යුද්ධ, බලය පැහැර ගැනීම සඳහා වූ කුමන්ත‍්‍රණ යනාදිය බහුලව තිබූ මේ කාලයේදී එංගලන්ත වැසියා ඉමහත් භීතියෙන් සහ සන්ත‍්‍රාසයෙන් කල් ගෙවද්දී රජතුමා පවා බෙල්ල බේරාගෙන ජීවත් වූයේ බොහෝ අමාරුවෙනි.Woolpit යනු මේ කියන මධ්‍ය කාලීන එංගලන්තයේ තිබූ Suffolk නමැති කෝරළයේ තිබූ කුඩා ගම්මානයකි. මෙහි ජනයාගේ ප‍්‍රධාන ජීවිකාව වූයේ ගොවිතැන සහ දඩයමය. අතට හසුවන සහ මහ පොළොවේ පැළවෙන ආහාරයට ගත හැකි සියලූම දේ වගා කළ ඔවුහු දඩයම් සඳහා දුණු, ඊතල මෙන්ම බොරු වළවල්ද පාවිච්චි කළහ. මෙතෙක් දඩයක්කරුවන් පරිහරණය කළ තාවකාලික බොරු වළවල්වලින් වෙනස් වූ Woolpit ගමේ බොරු වළවල් ඇතුළත ගඩොල් තබා බඳින ලද බිත්ති සහිත විය. මධ්‍ය කාලීන එංගලන්තය බෙහෙවින් වනාන්තරගත රාජ්‍යයකි. පිටිසරබද මෙන්ම නගරබදවද පිහිටි හැම ගමකටම යාව වනාන්තරයක් තිබිණි. කැලයට රිංගන දඩයක්කාරයන් ගම දෙසට සතුන් එළවාගෙන ආ අතර, එහිදී උන් බොරු වළට වැටුණ විට මැරීම සිදුවිය.දිනක් උදෑසන Suffolk ගමේ මිනිස්සු තිරි`ගු ගොයම් කපමින් සිටියදී කුඹුරේ පැත්තක තිබූ බොරු වළකින් මිනිස් හඬක් ඇසෙන්නට විය. වළ තුළට එබී බලන ලද කල්හී දැකගන්නට ලැබුණේ කුඩා දරුවන් දෙදෙනෙකි. ඒ දෙදෙනාගේ මුහුණ හා අත්පා කොළ පැහැයෙන් යුක්ත විය. මෙයින් වැඩිමලා දැරියකි. ඇගේ වයස අවුරුදු 8 ක් පමණ විය. පිරිමි දරුවා අවුරුදු 6 ක් පමණ වයස් විය. දරුවන් අමුතු ආකාරයේ ඇඳුම් ඇඳ සිටි අතර ඒවා ඉතාම ආගන්තුක නූල් වර්ගයකින්, අමුතුම ආකාරයෙන් වියන ලද රෙදිවලින් මසා තිබිණ. දරුවන් වළෙන් ගොඩට ගෙන පරීක්‍ෂා කිරීමේදී පෙනී ගියේ ඔවුන්ගේ සකල ශරීරයම කොළ පැහැති බවය. ඔවුන් කතා කළ බස කාටවත් තේරුණේ නැත. මේ දරුවන් කොහි සිට පැමිණියේද යන්නත් ඔවුන්ගේ භාරකරුවන් කවුරුද යන්නත් රහසක්ම විය. ඒ අනුව ගමේ විසූ ධනවත්ම ඉඩම් හිමියා වූ ශ‍්‍රීමත් රිචඞ් ද කැල්සි විසින් කොළ පැහැති දරුවන් දෙදෙනා තම භාරයට ගන්නා ලදී.

ඔහුගේ නිවහනට ගෙන යන ලද දරුවන් දෙදෙනා මුලදී ආහාරයට ගත්තේ අමු බෝංචි වර්ගයක ඇට පමණි. මධ්‍ය කාලීන එංගලන්තයේ ජනයා අමු බෝංචි කරල් දෙකට පලා ඒවායේ ඇට වෙනම තම්බා කෑමට පුරුදුව සිටියහ. දරුවන් දෙදෙනා බෝංචි අනුභව කළේ අමුවෙනි. එසේම ඔවුහු කොළ පැහැති දේවලට මහත්සේ ප‍්‍රිය කළහ. ඔවුන්ට පාන් සහ මස් වර්ග ආහාරයට ගැනීම හුරු කිරීමට අවුරුදු දෙකක් පමණ ගත විය. ඉංග‍්‍රීසි බස උගෙනීමට වසර 5 ක් පමණ ගතවිය. මේ අතර ආතතියෙන් පෙළෙන්නට පටන් ගත් පිරිමි දරුවා රෝගීව වැහැරී ගොස් මළේය. ඇග්නස් ලෙස නම් තබන ලද දැරියගේ සමෙහි වූ කොළ පැහැය අතුරුදන් වීමට පටන් ගත් අතර ඇය ඉතා නිරෝගී රූපත් තරුණියක බවට පත්ව විවාහ වූවාය. ඇගේ සැමියා තානාපතිවරයෙකි. මේ දෙදෙනාගෙන් පැවැත එන අය අදටත් එංගලන්තයේ වසෛති. උදාහරණයක් ලෙස මහා බි‍්‍රතාන්‍යයේ Earl Ferrers නමැති වංශාධිපති නාමය දැනට දරන රොබට් ෂර්ලි අර්ල්වරයා ඇග්නස් පරම්පරාවට අයත් බව කියනු ලැබේ.ඉතා හොඳින් ඉංග‍්‍රීසි බස ප‍්‍රගුණ කිරීමෙන් පසු ඇග්නස් තමා පැමිණියේ කවර තැනකින්ද යන්න හෙළිදරව් කළාය. එම තොරතුරුවලට අනුව, මියගිය පිරිමි දරුවා ඇගේ සහෝදරයාය. ‘සාන්ත මාටින්’ නමැති දේශයක ඔවුහු ජීවත් වූහ. සූර්යයාගෙන් තොරවූ එම දේශය රාත‍්‍රි කාලයෙන්ද තොර තැනක් වූ අතර පැය 24 පුරාම මළ හිරු රැස් හා සමාන ආලෝකයකින් ආලෝකවත් විය. එසේම එරටට අහසක් ද නොවීය. එහි වැසියන්ගේ සම කොළ පැහැති විය. ඇය ජීවත් වූ භූමිය මැදින් ගංගාවක් ගලාගිය අතර, ගෙ`ගන් එහා පැත්තේ තවත් ‘රටක්’ විය. එය මහත් සේ ආලෝකවත් වූ රටකි. ඇගේ පියාට බැටළු පට්ටියක් විය. දිනක් සිය සහෝදරයාද සමග මේ බැටළු පට්ටිය පසුපස වනය තුළට ගිය ඇයට ගුහාවක් හමුවිය. ඔවුහු ගුහාව තුළටම ගමන් කළහ. ගුහාව කොනෙන් බලගතු සීනු හඬක් ඇසෙන්නට විය. එවිට මේ අක්කා සහ මල්ලී සීනු හඬ සොයමින් ඉදිරියටම ගියහ. එක් තැනකදී ගුහාව අවසන් වූ අතර එතැනින් ඉතා දීප්තිමත් ලෙස හිරු රැස් නිකුත් වන්නට විය. ඉන්පසු ඔවුන් දැක්කේ තමන් (එංගලන්තයේ Suffolk) ගමේ තිරි`ගු කුඹුරක සිටින බවකි.

කොළපාට දරුවන්ගේ කතාන්දරය අවුරුදු 900 කට වඩා පැරැණි නමුත් අදටත් මතභේදයට තුඩුදී ඇත. මෙය සමාන්තර විශ්වයක පිහිටි ලෝකයක් විය හැකි බවත් කොළ පැහැති දරුවන් ඒ විශ්වයේ සිට මේ විශ්වයට පැමිණෙන්නට ඇති බවත් පිරිසක් කියති. ඒ අතර තව පිරිසක් කියන්නේ සාන්ත මාටින් වැසියන්ගේ දේශය එංගලන්ත භූමිය වසා පැතිර තිබෙන, එහෙත් එරට ජනතාවට නොපෙනෙන ලෝකයක් බවයි. එනම් මෙය භූත ලෝකයක් හා සමාන ලෝකයකි. මනුෂ්‍යයන් අතරම, මනුෂ්‍ය ලෝකයේම භූතයන් ජීවත් වන බවටත්, මනුෂ්‍යයන්ට භූතයන්ද, භූතයන්ට මනුෂ්‍යයන්ද නොපෙනෙන බවට විශ්වාසයක් පවතී. ඒ අතර සමහර අවස්ථාවලදී මනුෂ්‍යයන්ට හා භූතයන්ට එකිනෙකා පෙනෙන බවත් මනුෂ්‍යයන් සහ භූතයන් එක්ව වසෛන අවස්ථා ඇති බවත් කියනු ලැබේ. ඒ අනුව සාන්ත මාටින්ගේ දේශය භූත ලෝකයේ හා සමාන ලෝකයක් විය හැකි බවට තර්ක කරනු ලැබේ.මේ අතර කොළපාට දරුවන් පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක මතවාදයක් ද ඇත. මෙම මතවාදයට අනුව Hypochromic Anemia හෙවත් Chlorosis නමැති රෝග තත්ත්වයට මුහුණ දෙන ළමයින්ගේ සම කොළ පැහැයකට හැරේ. මෙය රක්තහීනතාවයේ එක් උග‍්‍ර ස්වරූපයකි. මෙහිදී සිදුවන්නේ රතු පැහැති රුධිර සෛල කොළ පැහැයක් ගැනීමය. ඉතාම අඩු පෝෂණ පදාර්ථ ඇති ආහාර දීර්ඝ වශයෙන් ගැනීම මෙම රෝගයට මුලය. එහෙත්, නිසි පෝෂ්‍ය පදාර්ථ ශරීරගත වීමට පටන් ගත් විට මෙම තත්ත්වය ම`ගහැරී ශරීරයේ වර්ණය යථා තත්ත්වයකට පත්වේ. කොළ පැහැති සමක් ඇති ඇග්නස් සහ ඔහුගේ සහෝදරයා ජීවත් වූයේ යැයි කියන අද්භූත ලෝකය පිළිබඳ තොරතුරු පසෙක තබා ඔවුන් පිළිබඳ කතාවේ ඉතිරි කොටස සලකා බැලීමේදී පෙනී යන්නේ ඇග්නස්ගේ ශරීරයේ සම පසු කාලයේදී වෙනස් වී සාමාන්‍ය වර්ණයට හැරුණු බවය. ඇය විසින් පසු කාලයේදී පෝෂ්‍ය ජනක ආහාර ගැනීම එම තත්ත්වයට හේතු වුණා විය හැකිය.කොළ පාට දරුවන් දෙදෙනා විසූ දේශය පිළිබඳ තවත් වැදගත් මතයකට අනුව ඔවුන් පැමිණියේ පෘථිවි ගර්භයෙහි තිබෙන ලෝකයකිනි. තමන් විසූ ලෝකයට අහසක් නැති බව ඇග්නස් කියා ඇත. මෙවැනි මතයක් භෞතික විද්‍යාත්මකව ඔප්පු කිරීම ඉතා දුෂ්කරය. විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව නම් පොළොව යට ඇති ඔක්සිජන් නැති ලෝකයක මනුෂ්‍ය වාසස්ථාන පැවතීම කෙසේවත් සිදුවීමට ඉඩ නැත.(අනුර සොලමන්ස්)

අපේ ලෝකයට ඇවිත් නොපෙනී යන මිනිස්සු



එක්දහස් නවසිය පනස් හතර අවුරුද්දේ ගී‍්‍රෂ්ම කාලය ජපානයට ඉතාම නරක සමයක් විය. ඉහින් කනිින් දහදිය පෙරුණ ඒ කාලයේ එක් දවසක යුුරෝපයෙන් පැමිණි ගුවන් යානයක් ජපානයේ ටෝකියෝවේ හනේදා ගුවන් තොටුපළට පහත් විය. යානයෙන් පිටතට ආ මගීහු ගුවන් තොටුපළේ ආගමන විගමන කවුළු ඉදිරියේ පෙළ ගැසුණාහ. මේ පෝලිමේ සිටි මිනිසකු අත අමුතු ජාතියක විදේශ ගමන් බලපත‍්‍රයක් විය. ඒ බලපත‍්‍රය ගැන කතා කිරීමට කලින් එහි අයිතිකරු ගැන කෙටි විස්තරයක් කරමු. හේ, ඉතා පිළිවෙළට ඇඳ පැලඳගත් මැදිවියේ මිනිසෙකි. ඔහුගේ හැඩය කොකේසියානු හැඩයකි. මධ්‍යම ආසියාවේ ජීවත් වන කොකේසියානු මිනිස්සු කහ පැහැති සමක් ඇති අය වෙති. ඔහුගේ අතේ වූ විදේශ ගමන් බලපත‍්‍රය TAaured නමැති රටට අයත් විය. එහෙත් TAaured (ටෝරෙඞ්) නමැති රටක් මේ වන විට ලෝක සිතියමේ කොතැනකවත් නැත. තමා මේ අවුරුද්දේ ජපානයට පැමිණි තුන්වන වතාව මෙය බව ඔහු ආගමන විගමන නිලධාරීන්ට ප‍්‍රංශ භාෂාවෙන් පැවසීය. ඔහු ජපන් බස ද කතා කළේය. තවත් භාෂා අටක් පමණ ඔහුට කතා කළ හැකි විය. ඔහුගේ මුදල් පසුම්බියේ විවිධ රටවලට අයත් මුදල් වර්ග විය. එයින් හැඟුණේ් ඔහු නිරතුරුවම පිටරටවල සංචාරය කරන්නකු බවය.ගුවන් මගියා සම්බන්ධයෙන් එක් විශාල ගැටලූවක් විය. ඒ ඔහුගේ රටය. ටෝරෙඞ් නමැති ඒ රට කිසිම ලෝක සිතියමක නැතත් ප‍්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පිහිටා තිබෙන රටක් බව මගියා කීවේය. ඔහු අත තිබූ විදේශ ගමන් බලපත‍්‍රය නිකුත් කර තිබුණේ ටෝරෙඞ් නමැති ජනරජයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි. ජපානය ඇතුළු රටවල් ගණනාවකට ම අයත් වීසා බලපත් එම ගමන් බලපතෙහි විය. මෙය ඉතා සංකීර්ණ ගැටලූවක් නිසා ජපන් ආගමන විගමන නිලධාරීහු ඔහු සේවය කරන්නේ යැයි කියන, ටෝරෙඞ් රටේ පිහිටි සමාගමට දුරකථනයෙන් කතා කළහ. ඔහු එම සමාගමේ සේවකයකු වන නමුත් දිගු කලකින් ඔහු ගැන තොරතුරක් නොලද බව සමාගම කීවේය. මෙයින් හැඟී ගියේ ටෝරෙඞ් යනුවෙන් රටක් ඇති බවකි. එය කොහේ පිහිටි රටක් දැයි කවුරුත් නොදත්හ. ඔහු සතුව ටෝරෙඞ් වාණිජ බැංකුව නිකුත් කළ චෙක් පොතක් තිබුණි. එවැනි බැංකුවක් ගැන ජපන් ආගමන විගමන නිලධාරීන් ඇසූ මුල් වතාව එය විය. එක්කෝ ඔහු පිස්සෙකි. නැතහොත් විහිළුකාරයෙකි. එහෙමත් නැත්නම් වංචනිකයෙකි. ජපනුන් ඔහු ගැන කල්පනා කළේ එසේය; ලෝක සිතියමක් ඇතොත් තම මවුබිම පෙන්විය හැකි බව මගියා විසින් කියන ලදී. එවිට ඔහු වෙත සිතියමක් ඉදිරිපත් කරන ලදී.ස්පාඤ්ඤය සහ ප‍්‍රංශය අතර තිබෙන ඇන්ඩෝරා නමැති කුඩා රටක් දැක්වූ ඔහු එය තම මවුබිම බවත් එහි තම ටෝරෙඞ් වෙනුවට ඇන්ඩෝරා යනුවෙන් සඳහන්ව ඇත්තේ මුද්‍රණ දෝෂයක් නිසා විය හැකි බවත් කියන්නට විය. ආගමන විගමන නිලධාරීන් එය පිළිගත්තේ නැත. බලවත් සේ කෝපයට පත් වූ මගියා පෙරදින තමන් ගුවන් ගත වනවිටත් ටෝරෙඞ් රාජ්‍යය යහතින් පැවැති බව කීවේය. එය වසර දහස් ගණනක් පැරණි රටක් බවද සඳහන් කළේය. මෙය කෙළවරක් නැති කතාවකි. මගියා ජපානය තුළට මුදා හැරීම ප‍්‍රතික්‍ෂේප කළ ආගමන විගමන නිලධාරීහු ඔහු අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළට යාබද හෝටලයක රඳවා තැබූහ. කාමරයේ දෙර අසලත් හෝටලය අවටත් ආරක්‍ෂක භට පිරිස් රඳවා තබන ලදී. ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය සහ රියැදුරු බලපත‍්‍රය ද ජපන් රජය භාරයට ගෙන ආගමන විගමන අංශයේ යකඩ සේප්පුවක ලා අගුල් දමන ලද්දේය.පසුදිනට පහන් විය. මගියා හෝටල් කාමරයෙන් අතුරුදන්ව තිබූ අතර ආගමන විගමන අංශයේ යකඩ සේප්පු තුළ ඔහුගේ විදේශ ගමන් බල පත‍්‍රය ද රියැදුරු බලපත‍්‍රය ද අතුරුදන්ව තිබීය. ටෝරෙඞ් රටින් පැමිණි සාමාජිකයා පිළිබඳ කතාව එතැන් සිට කතන්දරයක් පමණක්ම විය. එදා ඔහු ගොඩබසින විට ජපානයේ හනේදා ගුවන් තොටුපළේ සේවය කළ, ඔහු සමග කතා බහ කළ ආගමන විගමන නිලධාරීහු මෑතක් වනතුරුම ජීවත්ව සිටියහ. මෙවැනි සිද්ධීන් පිළිබඳ සඳහන් වන The Directory of Possibilities (1981) නමැති ග‍්‍රන්ථයේ මේ කතාව සවිස්තරාත්මකව දක්වා තිබේ.ටෝරෙඞ් රාජ්‍යය හා සමාන තවත් මනඃකල්පිත රටවල් දෙකක් ගැන සත්‍ය කතන්දර දෙකක් තිබේ. ඉන් පළමුවැන්න ලක්සාරියා ය. දෙවැන්න ලිස්බියා ය. ජර්මනියේ ප‍්‍රෑන්ක්ෆර්ට් නගරයේ රස්තියාදු වෙමින් සිටි ජෝෆර් මොරින් නමැති තරුණයෙක් 1851 සැප්තැම්බර් 30 වැනිදා පොලිසියට හසු විය. ඔහු කොහෙන් පැමිණියේ දැයි විමසන ලදුව දැන ගන්නට ලැබුණේ ලෝක සිතියම් පොත්වල තැන් සකි‍්‍රයා නමැති මහාද්වීපයේ පිහිටි ලක්සාරියා නමැති රටකින් ඔහු පැමිණි බවය. තරුණයා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ විට ඔහු ඉතා හොඳ සිහියෙන් සිටින අයකු බව හෙළි විය. 1905 දී ප‍්‍රංශයේ පැරිස් නගරයේ කඩයකින් පාන් ගෙඩියක් පැහැරගත් තරුණයෙක් පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු කතා කළ බස කාටවත් තේරුම් නැත. දින දෙකක පමණ ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔහු ලිස්බියා නමැති රටින් පැමිණි අයෙක් බව හෙළි විය. එය පෘතුගාලයේ ලිස්බන් නගරය ලෙස වටහාගත් ප‍්‍රංශ පොලිසිය පෘතුගීසි භාෂා පරිවර්තකයෙක් එහි ගෙන්වා ගත්තේය. එහෙත් තරුණයා කතා කළ බස පෘතුගීසි නොවන බව භාෂා පරිවර්තකයා කීවේය. අන්තිමේදී ඔහු මුදා හරින ලදී. පසුව ඔහු ආගිය අතක් නැති විය.ඉහත සඳහන් මිනිසුන් ආගිය අතක් නැති වූවේ ඇයි? ඔවුන් ගියේ කවර තැනකටද? ඔවුන් වෙනත් ලෝකයක සිට මෙහි පැමිණ අතරමංව සිට ආපසු තමන් පැමිණි ලෝකයටම ගිය අය වීද? Parallal Univers හෙවත් සමාන්තර විශ්ව යනුවෙන් සංකල්පයක් භෞතික විද්‍යාත්මක ලෝකයෙහි ඇත. අපේ විශ්වය, අපේ චක‍්‍රාවාටය, අපේ ග‍්‍රහ මණ්ඩලය, අපේ පෘථිවිය ඇතුළු අප අවට ඇති සෑම සියලූ දේකම කාබන් කොපි බඳු පිටපත් තිබෙන බව එම සංකල්පය මගින් පැහැදිලි කරනු ලැබේ. මේ ලිපිය ආරම්භයේ සඳහන් කෙරුණු පුද්ගලයන් කිහිපදෙනා පෙරකී ආකාරයේ සමාන්තර විශ්වයක පිහිටි සමාන්තර ග‍්‍රහලෝකවලින් පැමිණි පුද්ගලයන් බවට තර්කයක් පවතී.(අනුර සොලමන්ස් උපුටා ගැනීම -නිමක් නැති සක්වල හදුනා නොගත් පිටසක්වල අබිරහස්)

භාවනාවෙන් මොළය වර්ධනය වෙනවා

වරක් ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් මොළයේ ක්‍රියාකාරිත්වයට භාවනාව මඟින් සිදුවන බලපෑම සෙවීම සඳහා අපූරු පරීක්ෂණයක් සිදුකළා…මේ සඳහා ඔවුන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගී කරගත් අතර, නිරන්තරව බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කළ උන් වහන්සේලාගේ මොළය ස්කෑන් (electroencephalograms/EEGs)පරීක්ෂණ කීපයක් මඟින් නිරීක්ෂණය කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ….මෙහිදී අනාවරණය වූ කරුණු වලට අනුව, එම භික්ෂූන් වහන්සේලාගේ මොළයේ ගැමා කිරණ වල අධි ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබුණා…මෙය මොළයේ ගැමා කිරණ සමායෝජනය(gamma synchrony) ලෙසින් වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන අතර, මෙමඟින් එකවර මොළයේ කොටස් කීපයක් එකිනෙකට සම්බන්ධ කෙරෙනවා…එසේ සම්බන්ධ වන කොටස් ගණන වැඩිවන තරමට, මොළයේ උපරිම හැකියාවද ලබාගැනීමට හැකියාව ලැබෙණවා….මේ ආකාරයේ කිරණ මොළයේ ඇතිවන්නේ එහි නියුරෝන අතර, පණිවිඩ හුවමාරුවේදී හටගන්නා ඉතාමත් කුඩා වෝල්ටීයතාවයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි….එහිදී සාමාන්‍ය ක්‍රියාවලියක් අතරේදී, හර්ට්ස් 13- 30 ක් පමණ අතරේ බීටා සංඛ්‍යාතයේ තරංග මොළයේ නිපදවෙන අතර, මතකයට ගැඹුරින් යමක් ධාරණය වීමේදී හෝ, තදින් සිත සමාධිගත වීමකදී, හර්ට්ස් 30- 90 තරම් විශාල සංඛ්‍යාතයේ ගැමා කිරණ නිපදවීම සිදුවෙනව.මෙම පරීක්ෂණය සඳහා විස්කොන්සින් පර්යේෂකයින් කණ්ඩායම දිගු කලක් බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණකළ බෞද්ධ භික්ෂූන් 10 නමක් හා එවකට භාවනාව ප්‍රගුණ කරමින් සිටි උසස් අධ්‍යාපනය ලබන සිසුන් 8 දෙනෙකු යොදාගනු ලැබුවා…එහිදී භික්ෂූන් වහන්සේලා තදින් සිත සමාධිගතකර භාවනාවේ යෙදෙන අවස්ථාවේ, උන්වහන්සේලාගේ මොළයෙන් ඉතා ප්‍රබල මට්ටමේ ගැමා කිරණ නිකුත්වෙනු දක්නට ලැබුණා.මේවා විශාල උසකින්/ව්ස්ථාරයකින් යුක්ත අධි සංඛ්‍යාත මට්ටමේ(high amplitude, high frequency) පවතින ඒවා වුණාඑමෙන්ම ඒවා මොළයේ සෑම කොටසකින්ම පාහේ නිකුත්වෙන බව දක්නට ලැබුණු අතර,ඒවා සියල්ලම එකිනෙකට ඉතා හොඳින් සමායෝජනය වන බව කිරණ සටහනට අනුව නිගමනය කළ හැකිවුණා.තවද ඒවා ඉතා දිගු කලක් සමායෝජනව වෙමින් පවතිණ බවයි දක්නට ලැබුණේ.මේ අතරේ මෙම පරීක්ෂණයට බඳුන්කළ සිසුන් 8 දෙනාගේ මොළයේ කිරණ වල මට්ටම මීට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක තිබූ බව පෙනී ගිය අතර, සමායෝජන මට්ටම ඒ ආසන්නයේ වත් නොමැති බව දක්නට ලැබුණා.මේ ආකාරයේ ගැමා කිරණ පරීක්ෂණයක් මඟින් මොළයේ නියුරෝන අතර සමායෝජන මට්ටම පෙන්නුම් කරන අතර,මෙමඟින් අදාල පුද්ගලයාගේ මනසේ සමාධිගත මට්ටම පෙන්නුම් කරනවා.එමෙන්ම මේ ආකාරයේ කිරණ සමායෝජනයේ අඩුවීමක් මඟින් මනසේ විසිරුණු ස්වභාවයද පෙන්නුම් කෙරෙණවා.ඉතින් අවසන මොළයේ ගැමා කිරණ සමායෝජනයෙන් හෙළිකෙරෙන්නේ අදාල පුද්ගලයාගේ මොළයේ විවිධ කොටස් රැසක එකතුවෙන් සිදුකළ හැකි අසිරිමත් හා අති සංකීර්ණ ක්‍රියාකාරීත්ව මට්ටමයි.ඉතින් මේ අනුව පෙනී යන්නේ බෞද්ධ භාවනාව මඟින් මිනිස් මනසට සිදුකළ හැකි අති ප්‍රබල වූ බලපෑමයි….එය සමථ හා විපස්සනා යන භාවනා කොටස් අනුව, ලෞකික හා ලෝකෝත්තර මට්ටමටද යන බව භාවනාව අධ්‍යන කරන විට ඔබට වැටහී යයි….තව දුරටත් මෙහිදී පර්යේෂකයින් පෙන්වා දී තිබුණේ, ශාස්ත්‍රීය සංගීතය වැනි සිත සමාධිගත කරන ක්‍රියාකාරකම් වලින්ද මේ ආකාරයේ මොළයේ ගැමා කිරණ ක්‍රියාකාරීත්වය අවදි කළ හැකි බවයි….තවත් මෙවැනි ලිපියකින් යලිත් හමුවෙමු… සැමට පින්බර පොහෝ දිනක්….!!!!(අන්තර්ජාලය ඇසුරෙන් මාධව විශ්වනාත් )

වසර දහ දහක් පැරණි නගරයක් හමුවෙයි

19 වැනි සියවස මුළුල්ලේ එමෙන්ම 20 සියවසේදී දෙවැනි ලෝක මහා සංග්‍රාමය දක්වාත් ලොව බලවත්ම රාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් විරුදාවලි ලත් මීට ලොව බොහෝ රටවල් හා ශිෂ්ටාචාර අයත් විය. එමගින් ලැබූ දැනුම හා අත්දැකීම් මත 20 සියවස මුල් අර්ධය තුළදී ඔවුහු ලෝකයට ඉතිහාසය ලියා දායාද කළහ. ලංකාවේ ඉතිහාසයද එච්.ඩබ්ලිව්. කොඩ්රි​ෙටන් නමැති සිවිල් ​ෙස්වකයා විසින් මහාවංශය ඇසුරින් ලියා සම්පාදනය කළේ 1912දීය.වත්මන් ලෝක බලවතා වන එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයන්ගේ එම ඉතිහාසය ලිවීම වෙනස්කර නැතද එහි බොහෝ අඩුපාඩු හා වරද තැන් සොයා නිවැරදි කර ඇත. නිදසුන් කීපයක් මෙසේය. වසර 6000කට වඩා අතීතයට නොගිය බ්‍රිතාන්‍යයන් ලියූ ලෝක ඉතිහාසය දැන් වසර 12,500 - 13,000 දක්වා අතීතයට ගොස් තිබේ. ඉන්දියාවේ බටහිර වෙරළේ අඩි 4000ක් යට මුහුදු පතුලේ හමුවූ වසර 10,000ක් පැරණි බව කාබන් පරීක්ෂණ මගින් තහවුරු කළ නගරයක නටබුන් 2002 දී හමුවිය. වඳුරාගෙන් පරිණාමය වූ මිනිසා ගැන ඩාවින් මතය හා ඒ අනුව ගිය මානව විද්‍යාඥයන්ගේ දඩයම් යුගය එඬේර යුගය, කෘෂි යුගය හා කර්මාන්ත යුග ද දක්වන ඉතිහාසය අද නිෂේධයවී ඇත. යුරෝපීන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස සැලකූ ක්‍රි.පූ. 4 සියවසේ ප්ලේටෝ විසින් රචිත “අත්ලන්තිස් පුරවරය” යනු රාමායණයේ සඳහන් වන හනුමා දුටුවේ යැයි කියන “ලංකාපුරය” බව 1999 දී පිළිගැනිණි. මේ එකම පුරවරයක් පිළිබඳ ඇති වාර්තා 2කි. 1905 දී රයිට් සහෝදරවරුන් විසින් ලොව පළමු වරට ගුවන් යානය නිපදවන ලද බවට ඇති ඓතිහාසික ඉගැන්වීම 1986 දි බිඳවැටිණි. ඒ පිරමිඩ් දේවාලයක තිබී හමුවූ ගුවන් යානා 4ක මැටියෙන් කළ ඇඹීම අවුරුදු 4500ක් පැරණි බවට කාබන් පරික්ෂණ මගින් තහවුරු කළ විටදීය. මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායද 1996 දී ප්‍රතික​්ෂේප විය.සිය පළිඟු බෝලයෙන් අංජනම් බැලූ එක්සත් ජනපදයේ බ්ලැවට්ස්කි මැතිනිය 1881 දී කර්නට් ඕල්කට් මහතා සමග ලංකාවට ආවේ ලෝකයට ශිෂ්ටාචාරයන් විහිදී ගිය දකුණු ආසියානු දුපත ගැන සෙවිමටය. නමුත් ඇයට ඒ සඳහා සාක්ෂි සොයා ගැනීමට නොලැබිණ. රාජකීය ආසියාතික සංගමය (බ්‍රිතාන්‍ය) මගින් තම ආසියාතික යටත් විජිතවල ඉතිහාසය සීමා දක්වා තිබුණි. ඒ අනුව ඉන්දියාවේ ඉතිහාසය ඇරඹෙන්නේ සෘග් වෛදිත යුගයෙනි. ලංකාවේ ඉතිහාස ඇරඹෙන්නේ බුදුන් පිරිනිවන් පෑ දින ලංකාවට ආ විජය හා 700 පිරිස ගෙනි. ඉන් එහාට යමක් කතාකළ ​ෙනාහැක. ඒ තහනම්ය. සියලු හැදෑරීම් මේ තුළ සිදුකළ යුතුය. එබැවින් පාසල්වල විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍යයේ ඉතිහාසය ඉන් පිටතට නොයන තරමට හීලෑය. නමුත් මුනිදාස කුමාරණතුංග හා හෙළ හවුල (1941) භාෂාව ඇසුරින් හෙළ යුගයක් කරාගිය විට කට ඇදයින් ලෙස හඳුන්වා පහර ගසා නිශ්ශබ්ද කෙරිණි. හෙළ ජාතියක් නැතිව හෙළ බසක් පමණක් පවතින්නේ කෙසේදැයි කිසිවෙක් ප්‍රශ්න නොකළහ.1944 අගෝස්තු 06දා ජපානයේ හිරෝෂිමා නගරයට පළමු වැනි පරමාණු බෝම්බය එල්ල කරන ලදී. එහිදී දුම්රොටුව නැගුණ ආකාරය පුපුරා ගිය මහා ශබ්දය ජලාශවල ජලය රත්වී උතුරන්ට වූ හැටි මිනිසුන් හා සතුන් අහසට විසිවීම, කුරුල්ලන්ගේ තටුහැළී සුදුවීම තැන තැන මිනිසුන් මියයාම එලෙසින්ම විස්තර කරන යුද විස්තරයක් මහ භාරතය නමැති මහා කාව්‍යයේ විය. මේ අනුව ඉතිහාසයේ කිසියම් යුගයකදී පරමාණු යුද්ධයක් සිදුවී ඇති බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය හා අමෙරිකන් භාෂා ශාස්ත්‍ර දත් උගත්තු සංස්කෘත මහා භාරතය හා රාමායණය පරෙස්සමින් කියවා බැලුවද වෙනත් එබඳු යුද විස්තරයක් නොමැතිවිය. උගත්තු නිශ්ශබ්ද වූහ.ඇමෙරිකා එක්සත් ජනපදය 1950 දශකයේදී ලෝක බලවතාගේ තත්ත්වයට ආපසු ලෝක ඉතිහාසය හා මානව විද්‍යා ගවේෂණයට එක්සත් ජනපද උගත් තරුණ පිරිස පෙළඹුණහ. ඉන්දියාවේ තිබූ සංස්කෘත ග්‍රන්ථ අතර ‘පුරාණ’ නමැති (ප්‍රධාන) ග්‍රන්ථ 18ක් විය. පුරාණ යනු ඉතිහාසය යන අර්ථයයි. කාගේ හෝ ඉතිහාසය තොරතුරු ඇතැයි යන අනුමානයෙන් අලුත් පරපුර මෙම ‘පුරාණයන්’ හැදෑරූහ. එවිට අසුර නමැති මිනිසුන් කොටසකගේ ඓතිහාසික තොරතුරු එළිදරව් වන්නට විය. ඔවුන්ගේ තොරතුරු නිවර්තනික ලෝකයට දිගට බටහිර සිට නැගෙනහිරටම විහිදී තිබුණි. මෙම විශාලකම නිසා ඇමෙරිකන්කාරයාට පුරුදු ලෙස අසුර අධිරාජ්‍ය (Asura Empire) යයි ඊට නම්කළහ. කුමාරතුංගයන් කී පරිදි හෙළ බස සහිත හෙළයන් මින් අදහස් කළ නිසා අපි දැන් ඊට හෙළ අසුර අධිරාජ්‍ය යයි කියමු. මෙය හුදෙක් සංස්කෘතික අධිරාජ්‍යයකි. දේශපාලනික ස්වරූපයක් එහි නැත. සමාන ජීවන රටා එහි ඇත. මීට පෙර ලිපියකදී දක්වන ලද සිංහ මිනිසුන් කී පරිදි තම ශිෂ්ටාචාරය ගොඩනැගූ බැබිලෝනියාව නිදසුනකි. බැබිලෝනියාව සිංහ මිනිසුන්ට (හෙළයන්) යටත් නැත. නමුත් ජීවන රටාව සමානය. කඩුව අතින්ගත් සිංහයාගේ ලාංඡනයේ සමානත්වයෙන් ලංකාව හා බැබිලෝනියාව හිරුගෙන් හැසිරවෙන සමකාලීන වූ හා සම්බන්ධතා තිබූ ශිෂ්ටාචාර දෙකක් බව 1961 දී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද කී විට කවුරුත් සිනාසුණහ. 1998දී ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන් කී පසු ලංකාවේ පඩි කන මහාචාර්යවරු එය පිළිගත්හ.ඉතිහාස මහාචාර්ය ආර්නල්ඩ් ටොයිම්බි (බ්‍රිතාන්‍ය) 1945දී අලුත් න්‍යායක් ඉදිරිපත් කළේ ඉතිහාසය නැවත නැවතත් එලෙසම (History Repeats) යනුවෙනි. පොළොව යට ඇති ඛණිජ ලෝහ ආදී සම්පත් හාරා කර්මාන්තවලට ගත්විට යම් දිනෙක ඒවා අවසන් වීමෙන් යුරෝපයට නැවතත් එඬේර යුගයට අපසු යාමට සිදුවන බව ඔහුගේ න්‍යායෙන් කියැවේ. පරමාණු බලය කර්මාන්තයට යෙදවිය නොහැකි බව ද ඔහු කීවේය. දඬුමොනරයේ තිබූ රසදියෙන් ක්‍රියාත්මක මර්කරි වෝටෙක්ස් ඇන්ජිම මගින් ඉතිහාසය නැවත එලෙසම ක්‍රියාත්මක වන බව ඔප්පු කර ඇත.ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් මවිතයට පත්කළ සිදුවීමක් 1986 දී අසන්නට හා දකින්නට ලැබුණි. එනම් පිරමීඩ් දේවාලයක බිත්තියේ මැටියෙන් අඹා තිබුණු ගුවන්යානා 4ක ආකෘතීන්ය. පුදුමය නම් කාබන් පරීක්ෂණවලදී එම ඇඹීම් අවුරුදු 4500ක් පැරණි බව තහවුරු කිරීමය. රාමායණයේ සඳහන් වන රාවණාගේ පුෂ්පක යානය ඓතිහාසික විය හැකි බව ලෝකය සිතන්නට වුණේ ඉන් පසුවය. මේ අතර මිනිස් සිතුවිලි වලින් පරමාණු ක්‍රියා හැසිරවිය හැක යන්න ක්වොන්ටම් න්‍යාය 1980දී ඇමෙරිකන්කාරයාට ඔප්පු විය. ඒ අයතුල්ලා කුමෙයිනි තම අධිමානසික ශක්තියෙන් ඇමෙරිකන් මිසයිල්වල දිශාව වෙනස්කර ටෙහෙරාන් ඉලක්කවලට ඒවා නොවැදී හැරීගොස් වැලි කඳුවල වැදීම නිසාය. 1923 දී බැංගලෝරයෙන් ලැබුණු විමාන ශාස්ත්‍ර නමැති සංස්කෘත ග්‍රන්ථයේ මෙන්ම ටිබෙට් රටින් ලැබී චීනය විසින් 1967 දී චන්දිගාර් විශ්වවිද්‍යාලයෙන් ඉංගිරිසි බසට පරිවර්තනය කර ගැනුණු වෛමානික සූත්‍ර නමැති ග්‍රන්ථයෙන්ද රසදියෙන් ක්‍රියාත්මක වන අහස් යානා ගැන කියැවිණි. ඒ දෙවර්ගයම පිටසක්වල ග්‍රහලෝකවලට යන සැටිද විස්තර විය. මේ සියල්ල එකතුවී TR3-B නමැති අධිබල තුන්හුලස් ජෙට් යානය 1998 දී නිපදවිණ. 2005 දී ක්වොන්ටම් ටෙලිපොරේෂන් ඩිස්ක් නමැති තැටිය (පීරිසිය) නිපදවුණි.මෙසේ හෙළයේ රාවණාගේ පුෂ්පක යානය නමැති ලේඛනගත ලොව එකම ගුවන් යානය 20 සියවස අගදී යථාර්ථයක් බවට පත්වුණි.බ්‍රිතාන්‍යයෙන් ලියාදුන් (1912) ලංකා ඉතිහාසයට අනුව ලංකාව මිනිසුන්ගෙන් ජනාවාස වී (ක්‍රි.පූර්ව 543) තවමත් වසර 2560ක් පමණක් ගතවී ඇත.ආර්ථික හා දේශපාලනික කුමන හානි කළද ඇමෙරිකන්කාරයා නොව ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයින් තම ගවේෂණ තුළින් මිනිස් ඉතිහාසය මතු කරන්නට යාමේදී හෙළ ඉතිහාසය මතුවී තිබේ.කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය මැක්ස් මුලර්ගේ ආර්ය න්‍යාය 1896 වනවිට ඉතා ජනප්‍රිය විය. මෙහි රහසක් ඇත. රුසියන් ජාතික පුවත්පත් කලාවේදියකු වූ නිකොලායි නෙවොට්චි කාශ්මීර ලඩාන් හා වෙනත් ටිබෙට් ආරාමවලට නැවතී කුරුසියේ ඇණ ගැසූ ක්‍රිස්තුන් වහන්සේ මිය නොගිය බව හා ඔහුගේ ශිෂ්‍යයන් කාශ්මීර ලඩාන් ආරාමවලට ගෙනගොස් තුවාල සුවකර දීර්ඝ කාලයක් එහි ජීවත් වී සිටි බවට කරුණු සොයාගති. ක්‍රිස්තුන්ගේ රහසිගත ජිවිතය (secret life of jesus) නමැති පොත සම්පාදනය කරගෙන එය පළකර ගැනීමට වතිකානුවේ හා විවිධ ආයතනවල උදව් සෙවීය. හැමදෙනා එය ප්‍රතික්ෂේප කළහ. අන්තිමට පැරිසියේ සමාගමක් එය ප්‍රසිද්ධ කළ විට මුළු ක්‍රිස්තියානු ලෝකයම ඉන් මුසපත් විය. එවිට ඉදිරියට ආ මාහාචාර්ය මැක්ස්මුලර් එක්සත් ජනපද ජනප්‍රිය සඟරාවකට ලිපි සැපයුවේ තමාද එම ආරාමවලටම ගොස් කරුණු සෙවූ නමුත් නෙටොව්චිගේ කරුණු ව්‍යාජ එ්වා බව කියමිනි. මීට ප්‍රතිඋපකාර වශයෙන් සියලුම ක්‍රිස්තියානි නිකායන් මගින් මැක්ස්මුලර්ව වර්ණනා කළේ ලොව ඉහළම මානව විද්‍යා මාහාචාර්යවරයා බව කියමිනි. එනිසා ඔහුගේ ආර්ය න්‍යාය මුළු ලොව පුරා පිළිගැනිණ. නමුත් මේ සියලු කරුණු හෙළිදරව් කරමින් ඩේවිඩ් බේලමි නම් ඇමෙරිකන් මහාචාර්යවරයා විසින් 1996 දී පමණ ලියූ ආර්ය න්‍යායේ මිත්‍යාව (myth of aryan theory) නමැති ග්‍රන්ථයෙන් ආර්ය න්‍යායේ ඇති වැරැද්ද හෙළිදරව් කරන ලදී. එබැවින් කොකේසස් කඳුකරයේ ආර්යයන් කොටසක් ඉරානයට සංක්‍රමණය වීම ඉරානයෙන් කොටසක් වයඹ දිග ඉන්දියාවේ කපොලුවලින් පන්ජාබයට ඇතුළුවීම පන්ජාබයේ ආර්යයන් නැගෙනහිර හින්දුස්තාන් නැතිතලාව පුරා පැතිරීම සොළොස්මහ ජනපද යුගයේදී විජය හා පිරිසක් ලංකාවට අවුත් ජනාවාස කිරිම යන ඉතා රසවත් ඉංග්‍රීසි වෘත්තාන්තය වැරදි බව ඔප්පු කරන ලදී. නිෂ්ප්‍රභා වූයේ රාජකීය ආසියාතික සංගමයට අවශ්‍ය වූ ලංකා ඉතිහාසයේ ආරම්භයයි.ග්‍රීක් ජාතික ප්ලේටොගේ අත්ලන්තික් පුරවරය (CITY OF ATLANTIS) පුදුම සහගතය. අත්ලාන්තිස් යන නම නිසාත් එය මුහුදට ගිලීයාම නිසාත් යුරෝපයේ පැවැති සුදු මිනිසුන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස 20 සියවස පුරාවද සැලකිණ. අත්ලන්තික් සාගරයේ හමු නොවූ විට මධ්‍යධරණී මුහුදේ සෙවුහ. එවැන්නක් හමු නොවීය. 1999දි එක් ඉංග්‍රීසි ජාතික උගතකු පෙන්වා දුන්නේ රාමායණයේ එන හනුමා විසින් දුටුබවට විස්තර කැරුණු ලංකාපුරයත් ප්ලේටෝගේ අත්ලාන්තිස් පුරවරයත් එකම ස්ථානයක් ගැන ලියවුණ විස්තර දෙකක් බවය. ග්‍රීකයන් මේ වෘත්තාන්තය අසා තිබුණේ මිසර වැසියන් අතිනි. ඔවුන් ඊට මිසර නමක් යෙදූ නිසා තමන්ද අත්ලන්තිස් ලෙස ග්‍රීක නමක් ඊට යෙදූ බව ප්ලේටෝ පවසා ඇත. එබැවින් මුහුදට ගිලුණ අත්ලන්තිස් දේශය අත්ලාන්තික් සාගරයේ හෝ මධ්‍යධරණී මුහුදේ නැත. 2002දී සාගර දූෂණ කොමිෂන් සභාව මගින් ඉන්දියාවේ බටහිර වෙරළ දිගට ස්කෑන් කරගෙන යාමේදී අඩි 4000ක් මුහුදු පතුලේ (බොම්බායෙන් සැතපුම් 250 උතුරේ) නගරයක නටබුන් හමුවිය. මෙය මෑන්හැටන් දූපත (නිව්යොර්ක්) තරම් විශාලය. පිහිටීම අනුව මේ රාමායණයේ සඳහන් දණ්ඩක වනයේ (රාවණා​ෙග්) අගනුවර වන ජනස්ථාන් බව හින්දු උගත්තු කීහ. එයද මුහුදට ගිලුණි. ගවේෂණය සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන අවසන් වී ඇති බව හදිසියේ කිව් කොමිසම ගවේෂණ නතර කළේය. හෙළයන්ගේ දේව අධ්‍යාපනය බිහිකළ බ්‍රැගු මහර්ෂි සිටි බ්‍රැගු කච්ච (දැන් බ්‍රෝච්) ඇත්තේද ඒ අසලය. මේ පුරාවිද්‍යාත්මක සාක්ෂිය හෙළ අසුර ව්‍යාප්තිය හඳුනා ගැනීමට පහසුවකි. රේඩියෝ කාබන් පරීක්ෂණ අනුව මෙම නටබුන් අවුරුදු 10,000ක් පැරණිය. ලොව පැරණිම බැබිලෝනියානු ශිෂ්ටාචාරය (බ්‍රිතාන්‍යයන්ගේ මතය) අවුරුදු 6000ක් හෝ ඊට වඩා පැරණි ලෙස සැලකූ ලෝකයට අවුරුදු 10,000ක් පැරණි විශාල නගරයක නටබුන් මගින් ඇති කළේ මහා මවිතයකි.2009දී ඕලන්ද ජාතික මුහුදු පුරාවිද්‍යා (marine archiology) කණ්ඩායමක් ලංකාවේ මහාචාර්ය ජයවික්‍රම නමැති අයකුද සහභාගි කරවාගෙන අග්නිදිග පානම පොතුවිල් ආදියෙන් ඔබ්බේ මහාරාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මුල්කර ගවේෂණයක් කරන ලදී. එහි තිබූ වකගැසී නැගෙනහිරට විහිදී නැවත දකුණට විහිදුණ වර්ග කි.මී. 3,45,000 පමණ විශාල ගොඩබිමක්ද ලංකාව අසලදී මුහුදු පත්ලේ නගරයක අත්තිවාරම්ද තිබී ඇත. (ඡායාරූප අන්තර්ජාලයේ තිබුණි) එම විශාල භූමි ස්කන්ධය ඉර්ෂියා (ershia) ලෙස නම්කර ඇත. මේ ලංකාපුරයද නැති නම් මහාවංශයේ කැලණියේ රජු දවස ලෙස හැඳින්වූ මුහුදු ගිල්මදයන්න නොදනිමු. ලංකාවේ පුරාවිද්‍යාඥයෝ මේ කිසිවක් නොදනිති.2010 පමණ අවදියේදී ඇමෙරිකන් මානව විද්‍යාඥයන්ගේ අවධානයට හසු වූ දෙයක් වුයේ අඩි 10ක් පමණ උස මිනිසුන්ය. ​ෙමාවුහු ඇමසන් යෝධයන් මෙන් එක දේශයක මිනිසුන් නොව ලොව හැම රටකම සිටින අඩි 5-6 උස ඇති මිනිසුන් අතරම ඇති සුවිශේෂ පුද්ගලයන්ය. අධි මානසික තත්ත්වයන් නිසා ද්‍රව්‍යමය ශරීරය සමග ක්‍රියාත්මක වන ශක්ති ශරීරය නිසා මෙසේ විශාල ශරීරයන් ඇතිවූ බවට මානව විද්‍යාඥයෝ අනුමාන කරති. ඊටද සාක්ෂි සැපයෙන්නේ හෙළ දේශයෙනි. අවුරුදු එකළොස් දහසකට පමණ ප්‍රථම දේව අධ්‍යාපනය ඇතිකළ බ්‍රැගු මහර්ෂිවෙත හෙළයේ ප්‍රාලද (පරලැදි) පාලක තැන විසින් තම සොයුරී ඌෂණ යවා දරුවන් ලබා ගත්තාය. ගරුඬ පුරාණයට අනුව එසේ ලැබූ එක් දරුවකු වන වීරචන නොහොත් වීරචන්න (දකුණු ඇමෙරිකාවේ පාතාල දේශයේදී වීරකෝච ලෙස ඔහු හඳුන්වන ශිලා සටහන් ඇත) දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවල ටිටිකාකාවිල අසල පාතාල රට ගොඩනංවන ලදී. වීරචන දේවාලයේ නටබුන් ගල් කණු හා ඔහුගේ ශෛලමය ප්‍රතිමාව අදත් ඇත. බලි රජුන් දවස ශක්‍රගේ (දේව අධ්‍යාපනයේ චන්සලර් තැන) දියණිය දේවයානි නොහොත් මන්දාත කාශ්‍යප සාක්ෂි හා එකතුවී දරුවන් තුන්දෙනකු ලබා ඇත. මාලි සුමාලී හා මාලපවන්න යන මේ තිදෙනා තාරක සුමාලී හා සිංහමුව ලෙසද හැඳින්වෙති. එමෙන්ම මෙම සුමාලී රකුස් රජු තම දියණිය කෛකශි කුමරිය විශ්‍රවස් මුණි වෙත යවා රාවණ කුඹුක්කන් හා සුර්පණකා යන දරුවන් තිදෙනා ලද බව රාමායණය පවසයි. රාවණා අඩි 12ක් පමණ උස බව ජනප්‍රවාදයේ එයි. කුඹුක්කන්ගේ විශාල ශරීරය ගැන එය පවසන්නේ එළුවන් ගණනක් හා බත් ගොඩක්ද කා හය මාසයක් නිදන යෝධයකු බවය. රජුවරු තම දූ කුමරියන් සෘෂිවරුන් වෙත යවා දරුවන් ලබාගැනීම ලෙස පුරාණ ග්‍රන්ථවල හා රාමායණයේ සඳහන් වන්නේ උත්තම දරුවන් ලැබීමක් ලෙසටය. ඌෂණ ලත් දරුවා වීරචන දකුණු අමරිකාවට ​ගොස් පාතාල ශිෂ්ඨාචාරය අැරඹීය. දේවයානීගේ දරුවෝ අහසින් (ගුවන් යනා) ගොස් බොම්බ දැමූහ. නැවතද රාමායණය පවසන පරිදි රාවණාට ඥාන දහයක් (දසිස්) වූ බව කුම්භකරණගේ විශාල ශරීරය ගැනය. මානව විද්‍යාඥයන් මේ අනුව සිතන්නේ අසීමිත ගුණ ශක්තිය (රාවණ) හා අසීමිත ශරීරය ශක්තිය සෘෂිවරුන්ගේ ජානවලින් ලබෙන බවය.1986 දී පිරමීඩ් දේවාලයේ බිත්තියෙහි වූ ගුවන් යානා ඇඹීම් 4න් පසු මේ දක්වා 30 අවුරුද්ද තුළ අවුරුදු 6000ක් ඔබ්බේ ලෝකය ගැන නොයෙකුත් අරුම පුදුම ඓතිහාසික සාක්ෂි ලැබී ඇත. ලොකුම පුදුමය නම් මේ හැම සොයා ගැනීමකටම ලංකාව නොහොත් හෙළදිව සම්බන්ධ වී තිබීමය. අනෙකුත් පැරණි ශිෂ්ටාචාර සියල්ල අද නැතිවී ගොස් (lost civilizations) ඇති අතර ශිෂ්ටාචාරය පමණක් (හෙළ අසුර අධිරාජ්‍ය) අවුරුදු 12,500ක් අතීතයේ හිරාන් කසුබ් දක්වා දිවයයි. නමුත් ඒ අඛණ්ඩ ඉතිහාසයක් නොව කඩවූ ඉතිහාසයකි.(උපුටා ගැනිමක්)

මහත අයට කෙට්ටු වෙන්න කස කසා ඇට පානක්

බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකා...